දේශීය සහල්වල
පෝෂණ ගුණය සහ නීරක්තිය
අරභයා කළ පර්යේෂණය
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘දේශීය සහල්වල පෝෂණ ගුණය’ සහ සම්බන්ධයෙන් ද කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණ පැවැත්වූයේ ය. එය සිදු වූයේ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙනි. පර්යේෂණය සිදු කළේ ආචාර්ය තේජා හේරත් මහත්මියයි.
එහි දී දේශීය පාරම්පරික සහල් වර්ග 25ක් ද ඇතුළුව සහල් වර්ග 40ක්, නියැදියක් වශයෙන් භාවිත කෙරිණි. පර්යේෂණයේ දී අවධානය යොමු වූයේ, දේශීය පාරම්පරික සහල්වල ඇති භෞතික, රසායනික සහ ඉන්ද්රිය ගෝචර ගුණාාංග සම්බන්ධයෙන් අධ්යයනය කිරීමටයි.
එයින් ලැබුණු විශ්ලේෂණ දත්ත ඇතුළත් ‘Properties of some
Traditional Rice Varieties of Sri
Lanka-2011’- නම් වාර්තාවක් ද පළ කිරීමට ද කාර්මික තාක්ෂණ ආයතනය කටයුතු කළේ ය. එය සිංහල සහ දෙමළ බසින් ද පළ විය.
පර්යේෂණයෙන් අනාවරණයවූ ආකාරයට, කළු බාල වී, දහනල, පච්චපෙරුමාල්, රතු හීනැටි, කට්ටමන්ජල්, සහ රත් ඇල් යන සහල් වර්ගවල යකඩ සහ ප්රෝටීන් සංයුතිය ඉහළ ය. පෝෂණ ගුණයෙන් පිරිපුන් ය. ඒවා ‘නීරක්තිය’ වැනි පෝෂණ ඌණතා රෝග වළකාලීමට උපකාරී වේ. එම සහල්වල බත, ගැබිනි කතුන්ට ද, කිරි දෙන මව්වරුන්ට ද, තුඩා දරුවන්ට ද බෙහෙවින් ගුණදායක ය.
දැන් ඉතින් කුමක් කරමු ද?
ගෙවී යමින් පවතිනුයේ 2017 වර්ෂයයි. හරිත විප්ලවයට දැන් වසර 56කි. අද අපට ඉතිරිව ඇත්තේ කුමක් ද, හරි හමන් පෝෂණයක් නො ලබන, බෝ නො වන රෝගවලින් පීඩා විඳිමින් අසරණව, අකාලයේ මරණයකරා යමින් සිටින රටක් නොවේ ද? දියවැඩියාව, හෘද රෝග, අධික රධිර පීඩනය, පිළිකා සහ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ආදී අයහපත් තත්ත්වයන් දැන් සුලභවි තිබේ!
එබැවින් කාර්මික තාක්ෂණ ආයතනය දේශීය පාරම්පරික සහලේ ඖෂධීය සහ පෝෂණීය ගුණ සම්බන්ධයෙන් කළ පර්යේෂණ මාලාව රටට ඉතාමත් වැදගත් වේ. බෝ නො වන රෝගවලින් මිදෙන්නට එයින් නව මාවතක් විවෘත වීම ඊට හේතුවයි. වස විසෙන් මිදී, මුළු රටම යළි දේශීය පාරම්පරික වී ගොවිතැනත්, ඉන් නිපැයෙන බතත්, වැළඳගත යුතුය යන කාරණය ඔවුන්ගේ පර්යේෂණ ඔස්සේ විවර වන නව මාවතයි. එහි ගමන් කරන අයට, ශරීර පෝෂණය මෙන්ම නිරෝගීභාවය ද නිතැතින්ම මුණ ගැසෙනු ඇත්තේ ය!
මෙය ඉතා වටිනා පර්යේෂණ ක්‍රියාවලියකි. දේශීය පාරම්පරික සහල් වර්ගවල ඇති ඖෂධීය ගුණ පිළිබඳව, අපේ ගොවීන්ට මෙන්ම බත් කන මහජනයාට ද උසස් මට්ටමේ විද්යාත්මක තක්සේරුවක් ලැබීම ඊට හේතුවයි.
අතුල් පහර!
1960 දශකයේ පටන් ක්‍රියාත්මක වූ හරිත විප්ලව මතවාදය හෙවත් ‘නවීන රසායනික ගොවිතැන’ නිසා, මෙතෙක් කලක් අපි උතුම් ‘දේශීය පාරම්පරික වී සම්පත’ කුණු මුල්ලට වීසිකර දමා සිටියෙමු. ඒ අතරතුර වස-විස සපිරි බතින් කුසගිනි නිවා ගනිමින්, මරණීය ලෙඩ දුක් ද හදා ගෙන පීඩා විඳිමින් සිටියෙමු. කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ මාලාව කලඑළි බසින්නේ එවන් පසුබිමක ය. ඔවුන් කළ සොයා ගැනීම්, ‘දේශීය පාරම්පරික වී ගොවිතැන නිස්සාර යැයි’ ප්‍රචලිත කෙරුණු හරිත විප්ලව මතවාදයන්ට දුන් අතුල් පහරක් වැන්න!
දේශීය පාරම්පරික සහලෙහි ඖෂධීය සහ පෝෂණීය ගුණ බහුලව ඇතැයි යන්න, ඉතා පැරණි කතිකාවකි. දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලියේ දී අනාදිමත් කාලයක් මුළුල්ලේ ඒවා භාවිත කෙරිණි. එසේම ජන භාවිතාවේ දී ද ඒවා ඉහළින්ම යොදා ගැනුණි. එසේ වුව ද, දේශීය පාරම්පරික සහල් සම්බන්ධයෙන් පුළුල් නවීන විද්යාත්මක පර්යේෂණ මාලාවක් කෙරුණේ මුල් වතාවට ය.
අනෙකුත් පර්යේෂණ
කාර්මික තාක්ෂණ ආයතනය පමණක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්යාලය, බතලගොඩ වී පර්යේෂණ ආයතනය, ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් මධ්යස්ථානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද, වරින් වර දේශීය පාරම්පරික වී සහ සහල් පිළිබ`ද යම් යම් හැදෑරීම්කර තිබේ. පැරණි සහල් බෙහෙවින් ගුණදායක බව එයින් ද හෙළි විණි. ඒ සියල්ල ඉතා ප්‍රශංසනීය වේ.
අපේ කාලයේ පර්යේෂකයන්ගේ සියලූ නව සොයා ගැනීම්, ‘ලෙඩින් වැටී සිටින’ ජන සමාජයට හො`ද ඔසුවකි! මුළු රටම යළිත් වස විසෙන් තොර, දේශීය පාරම්පරික සහලෙහි බතට යොමු විය යුතු යයි කියන්නේ එබැවිනි!
(වස නුමුසු බතක අරුමැසි වරුණ ග්‍රන්ථය ඇසුරිනි.)
(ඉතිරි කොටස 07 වැනි ලිපියෙන්)
2017.04.06.
No comments:
Post a Comment