Followers

Wednesday 30 October 2019

කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි

පනාගොඩ ගොවියෙක් කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි







(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) 
(පින්තූර-හෝමාගම නන්දන රණසිංහ)
ස්වාභාවිකව මුහුන් වූ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් ඇසුරෙන් නව වී ප‍්‍රභේදයක් නිපදවීමට හෝමාගම  පනාගොඩ ප‍්‍රදේශයේ ගොවි මහතෙකු දැරූ උත්සාහයක් සාර්ථක වී තිබේ. ඔහු නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නම්කර ඇත.

මාස තුනහමාරක් හෝ හතරක කාලයකින් ඵල දරන නව වී ප‍්‍රභේදය, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, පර්යේෂණ කටයුත්ත සඳහා සහාය දුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය පවසයි. එය රතු සහලක් ගෙන දෙන වී ප‍්‍රභේදයකි.
නව වී ප‍්‍රභේදය නිපදවා ඇත්තේ හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ පදිංචිව සිටින එම්. ඞී. පියසේන නම්  ගොවි ක‍්‍රියාකාරිකයා විසිනි. 

දේශීය පාරම්පරික වී වර්ග වගා කළ ගොවි පවුලකින් බිහිවුණු හෙතෙම දැනුදු පැරණි වී ප‍්‍රභේද විස්සක් පමණ වගා කරයි. ඔහු ඒ සියල්ල කරන්නේ ‘කාබනික පොහොර’ භාවිතාවෙනි. සිය නිෂ්පාදන නිවසෙහි සිටම අලෙවි කරන පියසේන, ඒ සඳහා ‘තෙදබල පාරම්පරික සහල්’ නමින් කුඩා ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යයි. ඔහුගේ වී වගා භූමිය අක්කර දාහතක් වන අතර, එය අයත් වන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරට ය.

‘ගුරුපියා’ සහලෙහි පෝෂණීය සහ ඖෂධීය ගුණ සම්බන්ධයෙන් විශ්ලේෂණ කිරීම ආදී කටයුතුවලට සහාය වී ඇත්තේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරයි. ඇය  සමග ආචාර්ය ප‍්‍රශාන්ත මලවිආරච්චි ද, පර්යේෂණයේ ශිෂ්‍යා පී. ඒ. නදිනි තුෂාරා ද මෙම කටයුත්තට එක්ව ඇත.
ආචාර්ය පහන් ගොඩකුඹුර පවසන අන්දමට, ‘ගුරුපියා’ වියෙහි සහලේ බත, හෘද්‍යාබාධවලට තුඩු දෙන ‘කොලෙස්ටරෝල්’ පාලනය කිරීමේ ඉහළම ගුණයෙන් යුක්ත ය.

‘මෙදා සැරේ මාස් කන්නයටත් මම අනෙකුත් වී වර්ග සමග ‘ගුරුපියාත්’ වපුරනවා’, පියසේන ගොවියා ‘අරුණට’ පැවසී ය.

(මෙය 2019/10/30 දින ‘අරුණ’ පුවත්පතේ පළ විය.)


Thursday 24 October 2019

මා වී බතේ අරුමය සහ තවත් කතා

මා වී බතේ අරුමය සහ තවත් කතා


ලිංගික ශක්තිය වඩවන
මා වී බතේ අරුමය සහ තවත් කතා

 





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පුරාණයේ මාතර නිල්වලා ගං නිම්නයේ කෙරුණු ‘මා වී’ ගොවිතැන  හා බැඳුණු ඇතැම් සිරිත් විරිත් මහත් කුතුහලය දනවන්නේ ය. ඉන් එක් සිරිතකට අනුව, ‘මා වී’ වගා කරන කලාපයේ ගොවි තරුණයෙකුට ‘හිරයක්’ ගේන්නේ (විවාහයට තරුණියක් සොයන්නේ) ද, මා වී වගා කරන පවුලකිනි. එසේ කරන්නේ ඇයි ද? කියා විමසන කෙනෙකුට ලැබෙන්නේ බොහොම ‘කෘෂිකාර්මික’ පිළිතුරකි!
 
‘මේකනේ, ‘මා වී’ වගා කරන ගොවි ගෙදරක තියෙන වැඩ සම්භාරය ගැන දන්නේ ‘මා වී’ වගා කරන පවුල්වල අය විතරයි. ඉතින් වෙන තැනකින් කෙල්ලක් ගෙනාවොත් එයා ඔය ‘මා වී තෝත්තරේ’ දන්නෙ නෑනේ. එතකොට වැඩ ටික අවුල් වෙනවා. මා වී ගැන දන්න ගෙදරකින් කෙල්ලන් සොයන්නේ ඒකයි’ යනුවෙන් එහි සඳහන් වෙනු ඇත!
මා වී සම්බන්ධයෙන් ගත් කල, මේ කාරණයත් බොරුවක් නො වේ. එහෙත් ඇත්ත, එළිපිට කතා නො කරන වෙනත් කාරණයකි. එය රහසක් බඳු ය.
 

නිල්වලා නිම්න වැසි ගොවීන් දැන් නම් වගා කරන්නේ ‘මහ  මාවී’ නමැති දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයයි. ඊට ඉහත නම් ඔවුහු ‘හිවල් මාවී’ වගා කළහ. පැරණි නිල්වලා නිම්නය නිරන්තරයෙන් ගංවතුර උවදුරට හසු වන බැවින් ගොවීහු මා වීවලට හුරු පුරුදුව සිටියහ. මා වී සහලෙහි බත, පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද පොහොනේ ය. එබැවින් එකල ගොවීහු සිය වගා කටයුතුවල දී ‘බුද්ධ භෝගය’ යයි ගෞරවයෙන් සැලකුවේ ද ‘මා වීවලට’ ය.
 

අතීතයේ දී  අපේ රටේ දේශීය පාරම්පරික ‘මා වී’ වර්ග 28ක් පමණ පැවතිණි. ඒවා වගා කෙරුණේ රටේ තෙත් කලාපීය ප‍්‍රදේශවල ය. විශේෂයෙන් ම, නිල්වලා, ගිං, කළු, කැලණි සහ අත්තනගලූ ඔය ආදී තෙත් කලාපීය ගංගා නිම්නවල ය.
 

ගොයම් ගසක් හැටියට ‘මා වී’ ශාකයේ ගති සොබාවන් විශ්මයජනක ය. එය ගංවතුර හෝ අධික ජල තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙයි. එය ජලයට කුණු වෙන්නේ නැත. පීදුණු ගොයම ගංවතුරට හසු වුව ද, වී කරල ජලයෙන් ඉහළට ඇදී එයි. එබැවින් ගොවීන් කියන්නේ ‘ඔරුවෙන් ගිහින් හෝ ගොයම් කපන්නට හැකි’ බව ය.
 

පාරම්පරික මා වී ගොයමෙහි ඵල දරන වයස මාස හයකි. එහි ගොයම් ගස අඩි පහක් හයක් පමණ දිග ය. පුරුක් සහිත ය. මාස හයට එහි පුරුක් හතක්  වැඩෙයි. ගොයම ඵල දරා වී කරල් හැදෙන්නේ හත් වැනි පුරුකේ ය. කුමන මාසයක වී වැපිරුව ද, ගොයම පීදී කරල් හැදෙන්නේ දෙසැම්බරයේ ය. ලෝකයේ වෙනත් වී වර්ග සෑම එකකම පාහේ ගොයම් පැලයක් ලබා ගැනීමට ‘වී ඇටයක්’ සිටුවිය යුතු ය. එහෙත්  ‘මාවී’ එසේ නොවේ. මා වී ගොයම් ගසක පුරුක් වෙනම කපා සිට වූ විට, එයින් නව ගොයම් ගසක් හට ගනියි!
 

මා වී සහලේ බත බොහොම රස ය. මෘදු ය. යමෙකුට එය හිතූ තරම් අනුභව කරන්නට ද නුපුළුවන. බත් ටිකක් කෑ විට මහත් බර ගතියක් දැනෙයි. එසේ වන්නේ එහි ඉහළ පෝෂණ ගුණය නිසා ය. මා වී සහලේ බත පිසෙන ප‍්‍රමාණය ද වැඩි ය. මා වී බත, මිනිස් ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යයි. දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ ආදියෙහි සහ ජන වහරෙහි දැක්වෙන අන්දමට, මා වී වු කලී, ‘කාය ශක්තිය වර්ධනය කෙරෙන ගුණයෙන් යුත්’ සහලකි. එනම්, ‘වාජීකරණ ගුණයෙන් යුත්’ බතක් උපදින සහලකි. එහි ඇති ප්‍රෝටීන ප‍්‍රතිශතය සියයට 7.80ක් තරම් ඉහළ මට්ටමක ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මා වී සහලේ බත වැළඳීමෙන් ‘ලිංගික ශක්තිය වර්ධනය වන බව’ නිල්වලා ගං නිම්නවාසී ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී ගොවිතැන් කරන පවුලක තරුණයෙකුට, මා වී ගොවිතැන් කරන පවුලක කෙල්ලෙක් ම කාර බැන්ද වීමේ සිරිත සම්බන්ධයෙන් එළිපිට කතා නො කරන රහස එළියට එන්නේ මෙතැන දී ය. මා වී බත වළඳන පිරිමින් ජවාධිකයන් ය. එවැනි පිරිමින්ගේ ‘ගති සොබාවන්ට’ ඔරොත්තු දෙන්නට නම්, තරුණියකට වුව ‘මා වී’ බතේ හයිය තිබිය යුතු ය. මා වී වගා කරන ගොවි පවුලක කොල්ලෙකුට, එවන් ගොවි පවුලකින් ම කෙල්ලෙකු කැන්දා ගෙන ඒමේ රහස එයයි! 
 

මාතර නිල්වලා නිම්න වාසී ගොවීහු මා වී සහලේ කුරුට්ටෙන් ‘කුඩු පිට්ටු’ නම් ආහාරයක් සකසා ගනිති.  එය ‘ඇඟිල්ලේ ගා ගෙන කන’ දියර පිට්ටුවකි. ‘අපි ඉතින් කුඩු පිට්ටු නම් හාමුදුරුවරුන්ට වළඳවන්නේ නෑ. ඒවා වැඩිපුර කන්න කියන්නේ අලූත බැඳපු අයටයි’ යයි ඔවුහු කට කොනෙන් හිනැහෙමින් කියති.
 

වාජීකරණ ඔසු ගුණය පමණක් නොවේ. ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, පසුගිය කාලයේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කළ පර්යේෂණ මගින් හෙළි විය. ඒ පිළිබඳ තොරතුරු, ජර්මනියේ දී ඉංග‍්‍රීසි බසින් පළ කෙරුණු ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් පර්යේෂණ ග‍්‍රන්ථය ඔස්සේ අනාවරණය කෙරිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වූහ.
 

එහි සාකච්ඡාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ‘කාර්මික තාක්ෂණ ආයතනය’ කළ පර්යේෂණ මාලාවේ අපූර්ව තොරතුරු ය. ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, එයින් අනාවරණය විය.
 

දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා ද පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයෙන් සොයා ගැනුණි.
 

අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ’ : (Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික රතු සහල් වර්ගවලට, දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග ද රුධිරයේ සීනි පාලනය සම්බන්ධයෙන් උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.
 

ශරීර පෝෂණය යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සහ බෝ නො වන රෝගවලින් මිදුණු සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම ද යහපත් ලිංගික ජීවිතයකට හේතු කාරක වෙයි. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක එවන් ගුණාංග යහමින් තිබේ. ‘කුරුළු තුඩ’ නම් වියෙහි සහල (බත), කුඩා දරුවන්ගේ පෝෂණය කෙරෙහි දැඩිව බලපාන බව ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී  පමණක් නොවේ. මිනිසුන්ගේ ලිංගික ශක්තිය වඩවන සහල් වර්ග ගණනාවක් ම    දේශීය පාරම්පරික සහල් වර්ග අතර එයි. ‘චරක’, ‘සුශ‍්‍රැත’ සහ ‘සාරාර්ථ සංග‍්‍රහය’ ආදී ආයුර්වේද වෛද්‍ය ග‍්‍රන්ථවල ද ඒවා ගැන සඳහන්ව තිබේ. මේ සහල් වර්ගවල ප්‍රෝටීන ප‍්‍රතිශතය ඉහළ ය. සුවඳැල්, කුරුළු තුඩ, රත් හැල්, කළු හීනැටි, මුතු මාණික්කන්, පොලයල් ආදිය ඒවා අතර වෙයි. මුතු මාණික්කන් සහලේ බත, කාන්තාවන්ගේ සමේ වර්ණය පැහැපත් කරවන බව ප‍්‍රකට ය. කෝට්ටේ රජ වාසලේ බිසෝවරුන්ට ආහාර පිණිස මුතුමාණික්කන් සහල් රැස්කර තැබූ බව කියැවේ. පොලයල් සහලේ බත, මහළු විය එළඹෙන විට මතුවන ශරීර ලක්ෂණ යටපත් කරන බව පැරණි ව්‍යවහාරයෙහි සඳහන් වේ.
 

අපේ රටේ දැනට කෙරෙන්නේ, මේවා වගාකර ගෙන  ‘බත්’ වශයෙන් අනුභව කිරීම පමණකි. එහෙත් පාරම්පරික සහලේ ඇති ‘වාජීකරණ’ ගුණයන් පදනම්කර ගනිමින් යම් ‘ඔසුවක්’ හෝ ‘ශක්තිජනක’ ආහාරයක් නිපදවන්නට හැකි නම් එය මහත් සේ ප‍්‍රචලිත වෙනවා සිකුරු ය!  එසේම, කාන්තා රූ සිරිය වඩවන යම් නිපැයුමක් ද කරන්නට පුළුවන!
(2019/10/20-සතිඅග අරුණ -පුවත්පතේ පළවුණු ලිපියකි)                                                         
(උපුටා ගැනීම-walaspathiවලස්පතිගේ අඩවියෙනි)

Saturday 19 October 2019

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නාමකරණය කෙරේ

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණය කෙරේ

 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණයකර, ගොවීන්ට හඳුන්වා දීමේ විද්වත් සභාවක් ඊයේ (ඔක්තෝබර් 17), කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
 

විද්වත් සභාව සංවිධානයකර තිබුණේ, හෝමාගම, කටුවාන පාරේ ‘පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැුකීමේ ව්‍යාපාරය’ වෙනුවෙන් පී. ගුරුසිංහ මහතා විසිනි.
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීමේ ක්ෂේත‍්‍රයේ ගොවි සංවිධාන නියෝජනය කරමින්, උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක මහාමාන්කඩවල පියරතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, මතුගම සෙනවිරුවන්, කවුඩුල්ලේ ජයතිස්ස ඇතුළු ගොවි ක‍්‍රියාකාරිකයන් ද, කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර, උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. එල්. ඞී. සමරසිංහ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. ඒ. ඞී. ප‍්‍රශාන්ත, ආචාර්ය පහන් ගොඩකුඹුර ඇතුළු පර්යේෂකයන් ද, පේරාදෙණිය ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන් ද විද්වත් සභාවට එක්ව සිටියහ.
 

ගොවීන්ගේ හඳුන්වාදීම් අනුව තෝරා ගෙන, ප‍්‍රභේද නිවැරදිතාවය විද්‍යාත්මකව සහතික කළ වී ප‍්‍රභේද නමයක ‘බිත්තර වී’ ගොවීන්ට බෙදා දීම ද මෙහි දී සිදු විය.
 

ඒ අනුව ප‍්‍රභේද නිවැරදිතාවය සහතික කළ පාරම්පරික වී වර්ග මෙසේ ය.
 

01-හේරත් බණ්ඩා-රතු සහල්/මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006421
 

02-සූදුරු සම්බා-මාස-හතර-හතර හමාර
 

03-කලූ හීනැටි-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006713
 

04-කුරුලූ තුඩ-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗005416
 

05-පච්චපෙරුමාල්-මාස-තුන හමාර-හතර-නාමකරණ අංකය-ACC⌗005549
 

06-මඩතවාලූ- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗012391 
 

07-මුරුංගාකායම්-මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗006280 
 

08-පොක්කාලි- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗004160 
 

09-සුවඳැල්- මාස-තුන හමාර-තුන- නාමකරණ අංකය-ACC⌗013300
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නිවැරදිව නාමකරණය කර ව්‍යාප්ත කිරිමේ වැඩ පිළිවෙල දිගට ම පවත්වා ගෙන යන බව විද්වත් සභාවේ දී ප‍්‍රකාශ විණි.
2019/10/17