Followers

Monday, 27 March 2017

masuranbath.blogspot.com ගැන කතිකාව


masuranbath.blogspot.com 
බ්ලොග් අඩවිය ගැන කතිකාව

අපේ අරමුණ

දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමේ ක‍්‍රියාවලියට සහ වස නුමුසු බතක් අනුභව කරනු රිසි හුදී ජනයින්ට අත්වැලක් සැපයීම අපේ අරමුණයි.

හැඳින්වීම 

වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප‍්‍රධාන  ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 40ක් ද, කැලරි අවශ්‍යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි.
 
රටට අවශ්‍ය ‘බත’ සැපයීම, ලංකාවේ අතීත  රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප‍්‍රධාන කාර්යභාරය වූයේ ය. එකල භාවිත කෙරුණේ ‘දේශීය පාරම්පරික වී වර්ග’ යි. රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යල’ සහ ‘මහ’ වශයෙන් ‘කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිත විය.
 
වර්තමානයේ රට පුරා වගා කෙරෙන්නේ,  ‘නව වැඩි දියණුු කළ’ නවීන වී ප‍්‍රභේදයන් ය. එසේ වුව ද, බත මෙන්ම සහල ද උපදින ‘වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප‍්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ ‘වී’ වගාව පිණිස ය. 
 
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග‍්‍රෑම් 4429කි. වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ නවීන වී ප‍්‍රභේදයන් ය. ඒ ස`දහා කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක‍්‍රම, නවීන උපකරණ හා යන්ත‍්‍ර ද බහුලව භාවිත කෙරේ. එය නවීන, කෘත‍්‍රිම රසායනික ගොවිතැනකි. ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ.
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද  

‘හරිත විප්ලවය’ ලෝකයට ව්‍යාප්ත කෙරුණු වර්ෂ 1960 දශකයට පෙර, ශ‍්‍රී ලංකාව පුරා වගා කෙරුණේ ‘දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයන්’ ය. ඒවා වගා කෙරුණේ ද, කාබනික පොහොර සහ විෂ රහිත, දේශීය විධික‍්‍රම භාවිත කරමිනි. වල් මර්දනය සහ පළිබෝධකයන් මර්දනය පිණිස දේශීය උපක‍්‍රම භාවිත කෙරිණි. වී වගාව එහැමපිටින්ම දේශීය මුහුණුවරක් ගත්තේ ය. එය රටේ වර්ෂාපතන රටාව, ඉපැරණි වාරිමාර්ග පද්ධති, වගා භූමියේ ස්වභාවය සහ සොබාදහමේ විවිධ නියාමයන් සමග ද බැඳී පැවතිණි. නිපැයුණු දේශීය පාරම්පරික වියෙහි අස්වැන්න, පෝෂණීය මෙන් ඹෟෂධීය ගුණයෙන් ද පිරිපුන් විය.
 
එහෙත් වර්ෂ 1960න් පසුව ප‍්‍රචලිත කෙරුණු ‘හරිත විප්ලව කෘෂිකර්මය’ ඔස්සේ සියල්ල වෙනස් විය. එයින් ‘නව වැඩිදියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ හඳුන්වාදෙනු ලැබී ය. ඒවා වගා කිරීමට කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග සහ නවීන වගා උපක‍්‍රම සහ ට‍්‍රැක්ටර් වැනි යන්ත‍්‍ර ද අවශ්‍ය විය. අලූත් වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලැබිණි. එබැවින් ලංකාවේ ගොවීන් ද නව ගොවිතැනට ඇබ්බැහි වූහ. එය රට පුරා ව්‍යාප්ත විණි.
 
‘නව වැඩිදියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ නිපදවන්නට පුරෝගාමී වූයේ, හරිත විප්ලව ක‍්‍රියාදාමයේ ‘මහා පර්යේෂකයා’ වූ පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයයි. ඔවුහු එක් එක් රටවල පාරම්පරික වී ප‍්‍රභේද රැස්කර, ඒවායෙහි ලක්ෂණ ද බද්ධකර නව වී වර්ග නිපදවූහ. මේ සඳහා එකල ලංකාවේ පැරණි වී වර්ගවල සාම්පල ද උපයෝගීකර ගැනුණි. අවසන, දේශීය පාරම්පරික වී ප‍්‍රභේද ගොවීන් වෙතින් ගිලිහී ගියේ ය. ඒවායෙහි සාම්පල් පර්යේෂණාගාරවල තැන්පත් කෙරිණි.
 
සියල්ල අවසානයේ, එතෙක් පැවති දේශීය පාරම්පරික වී වර්ග ද, සම්ප‍්‍රදායික වී වගා දැනුම් සම්භාරය මෙන්ම වගා පිළිවෙත් ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. වැඩි අස්වැන්නක් ලබා, රට වැසියන්ගේ කුස ගිනි නිවන්නට නම්, නවීන රසායනික ගොවිතැන අත්‍යවශ්‍ය දෙයක් යයි ජන මතයක් ද පැතිරිණි.
 
එහෙත් ලංකාවේ ඇතැම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිටි වී ගොවීන් සුළු පිරිසක්, නවීන ගොවිතැනට සහ නව වී වර්ගවලට කැමති නො වූහ. ඒවායෙහි බතට ද කැමති නො වූහ. එබැවින් ඔවුහු තවදුරටත් දේශීය පාරම්පරික වී ප‍්‍රභේද, කාබනිකව වගා කරමින් සිය ආහාර සරිකර ගත්හ. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක් ඔවුන් අත සුරැකිණි.
 
වර්ෂ 1970 දශකය අග භාගයේ පටන් පුරෝගාමී ගොවීන් කිහිප දෙනෙකුට, නව රසායනික වී ගොවිතැනෙහි යම් ආරවුලක් ඇති බව වැටහී යමින් තිබිණි. ඔවුහු ඈත ගම්වල සිටි ගොවීන් ගෙන්, පැරණි වී වර්ගවල බීජ එක් රැස් කරන්නට වූහ. ඒවා සංරක්ෂණය පිණිස කාබනිකව වගා කරන්නටත්, සහෝදර ගොවීන් අතර බෙදා දී ව්‍යාප්ත කරන්නටත් මහත් උත්සාහයක යෙදුණහ. එය සංවිධානාත්මක, පුළුල් අරමුණු සහිත ව්‍යාපාරයක් විය. එකල රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක් ද ඔවුන් සමග එක් විය. වස විස සපිරි නවීන ගොවිතැන නිසා, මනුෂ්‍යයාට ද, පරිසරයට ද ඇතිවන අයහපත මකා දැමීම ඔවුන්ගේ අදිටන විය. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් යන සමාජ ක‍්‍රියාකාරිකයන් එහි නියමුවන් වූහ.
 
ඔවුන්ගේ ද, තවත් ගොවීන්ගේ ද උත්සාහය නිසා, අද වන විට (2017) දේශීය පාරම්පරික වී වර්ග 600ක් පමණ රටට ඉතිරිව තිබේ. රට පුරා ගොවීන් විශාල පිරිසක් දැන් ඒවා කාබනිකව වගා කරමින් සිටිති. වසර 2000 දශකය අග භාගයේ පටන්, දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කිරීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබෙමින් තිබෙන්නේ ය.
 
1990 දශකයේ සිට රටේ වියලි කලාපීය පෙදෙස්වලින් මතුවන්නට පටන්ගත් මාරාන්තික වකුගඩු රෝගයත්, පිළිකා, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග බහුලව පැතිරෙන්නට වීමත් නිසා විශාල සමාජ කතිකාවතක් ඇති විය. නවීන රසායනික ගොවිතැන ඔස්සේ මහ පොළොවට වස විස කලවම් වීමෙන් ලෙඩ රෝග පැතිරෙන බව නව පර්යේෂණ මගින් ද හෙළිදරව් විය. මාරාන්තික වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ආචාර්ය චන්න ජයසුමන මහතා, ඒ අතර කැපී පෙනුණි.
 
දැන් රටේ වැඩි දෙනෙක්, වස විස සහිත ගොවිතැනින් ඉවත් විය යුතු යයි කල්පනා කරති. ඒ සම්බන්ධයෙන් කතිකා කරමින් සිටිති. බොහෝ දෙනෙක්, වස විස රහිතව දේශීය පාරම්පරික වී ගොවිතැන් කරන්නට ද පෙළඹී සිටිති. විශාල පිරිසක් වස විස නැති දේශීය පාරම්පරික සහල් සොයා ගන්නට වෙහෙසෙති. ඒවා අනුභව කරන්නට පුරුදුව සිටිති. සීමා සහිතව වුව ද, දේශීය පාරම්පරික වී වර්ග යළිත් ගොවිබිම්වලට පැමිණෙමින් තිබේ. ව්‍යාප්ත වෙමින් තිබේ. එය රටට හිතකර තත්ත්වයකි.
 
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් සංරක්ෂණ ආයතනය සහ කොළඹ, කාර්මික තාක්ෂණ ආයතනය ද, පසුගිය වකවානුවේ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කළේ ය.
 
එයින් කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණ මාලාව ඉතාමත් වැදගත් ය. දේශීය පාරම්පරික වී ප‍්‍රභේද බොහොමයක, ඉතා ඉහළ පෝෂණ ගුණ සහ බෝ නො වන රෝග පාලනය කිරීමේ විශිෂ්ඨ ගුණ ඇති බව ඉන් අනාවරණය විය. ඔවුන්ගේ පර්යේෂණ පත‍්‍රිකා ජාත්‍යන්තරයේ ද පළ විය.
 
දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කරන ගොවීන්ට මෙන්ම, ඔවුන් නිපදවන වස නුමුසු බත අනුභව කරන සුවහසක් හුදී ජනයින්ට ද අත්වැලක් සැපයීමත්masuranbath.blogspot.com’  බ්ලොග් අඩවියේ අරමුණයි.
 
දේශීය පාරම්පරික වී වර්ගවල විවිධ හැඩතල රටට හඳුන්වාදීම, ඒවා වස විසෙන් තොරව වගා කරන ගොවීන්ගේ කෘෂිකාර්මික අත්දැකීම් (දැනුම) බෙදා-හදා ගන්නට සැලැස්වීම, ඔවුන් සහ වස නුමුසු දේශීය බතක් වළ`දනු රිසි හුදී ජනයින් අතර සබැඳියාවන් තහවුරු කිරීම, ක්ෂේත‍්‍රය අරභයා කෙරෙන නව පර්යේෂණ ගැන හඳුන්වා දීම සහ දේශීය පාරම්පරික බතෙහි පෝෂණීය සහ ඖෂධීය ගුණ පිළිබඳ කතිකා කිරීම ඇතුළු තේමාවන් ගණනාවක්, masuranbath.blogspot.com’ බ්ලොග් අඩවිය ඔස්සේ විදාරණය කෙරෙනු ඇත. එය කිසිදු මුදල් අය කිරීමකින් තොරව පවත්වා ගෙන යන සේවාවකි.
 
ඔබේ අදහස් ද අපට වටින්නේ ය. අපට ලියනු මැනවි!

ස්තුතියි.
මම, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර.

අපේ විද්‍යුත් තැපැල් ලිපිනය

අපේ සාමාන්‍ය ලිපිනය

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර,
මගමුලන වත්ත, මැද කීඹිය, ගාල්ල.
දුරකතන-077-0258812/091-5676083.

1 comment:

  1. අපේ කම අපේදේ රැකගමු

    ReplyDelete