Followers

Friday 31 March 2017

සුවඳැල් බතේ වරුණ

අවුරුදු කිරි බතට 
සෞභාග්‍යවත් සුවඳැල්

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එළඹුණේ අප‍්‍රියෙල් මාසයයි.  තව දෙ සතියකින් පමණ මෙවර (2017) සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද එළඹේ. මේ දිනවල රටේ ඇතැමෙක්, ‘සුවඳැල් සහල්’ සොයා ඇවිදිමින් සිටිති. වස-විසෙන් තොරව වගා කළ, පෝෂ්‍ය ගුණයෙන් අනූන, ඉදෙන විට සුවඳ හමන, පාරම්පරික දේශීය සහලකින් අලූත් අවුරුදු කිරිබත පිස ගැනීම, ඔවුන්ගේ අභිප‍්‍රායයි. ඒ සඳහා දැන් වැඩි දෙනෙකුගේ තෝරා ගැනීම, ‘සුවඳැල් සහල්’ ය. දකුණේ නම්, ‘මා වී සහල්’ ය. ‘සුවඳැල් සහලේ බත’, වැඩි පෝෂණ ගුණයක් මෙන්ම, රුධිරයේ සීනි පාලනය කිරීිමේ ගුණයෙන් ද පිරිපුන් බව හෙළිදරව් වීම, මෙබඳු ඉල්ලූමක් ඇති වීමට හේතුව ය. ‘මඩතවාලූ’ සහලේ බත ද කිරිබතට හොඳ ය. කොයි හැටි වෙතත්, අවුරුදු කිරිබතක් කන්නට වස-විසෙන් තොර, දේශීය, පාරම්පරික සහලක් සොයා ඇවිදීම, වර්තමානයෙහි අතිශයින්ම සෞභාග්‍යවත් සිතිවිල්ලකි.



දේශීය පාරම්පරික වී වර්ග කාබනික ක‍්‍රමයට වවන සුළුතරයක් ගොවීහු, මෙවර ද සිය ගොවි සංවිධාන ඔස්සේ ‘සුවඳැල් සහල්’ සැපයීමට ඉදිරිපත්ව සිටිති.

පැරණි භාවිතාවේ හැටියට, ‘සුවඳැල්’ යනු ‘හැල්’ (සංස්කෘත බසින් ‘ශාලිං’) හෙවත් ‘ඇල්’ වී වර්ගයකි. ඒ අනුව, ‘සුවඳ හමන ඇල්, සුව`දැල්’ වන්නේ ය. (නැතිනම්, ‘සුවඳ හමන හැල්, සුවඳැල්’) දේශීය සුවඳැල් වර්ග දෙකකි. ඉන් එකක්, ‘සුදු සුවඳැල්’ ය. අනෙක, ‘රත් සුවඳැල්’ ය. ඒවා වපුරා මාස තුනකින් පැසෙන, ‘බාල වී’ ගණයට අයත් ය.

බාල වී යයි කියන්නේ, ඉක්මණින් පැසෙන වී වර්ග වලට ය. ඒ සමගම රොබට් නොක්ස් ද සිහිපත් වෙයි. රොබට් නොක්ස්, බි‍්‍රතාන්‍ය ජාතික නාවිකයෙකි. ඔහු ක‍්‍රිස්තු වර්ෂ 16 වැනි සියවසේ දී, අහම්බෙන් ලංකාවට ගොඩ බසින්නට සිදු වෙයි. එහි දී, ශ‍්‍රී ලංකාවේ මහ රජ්ජුරුවන් වූ, දෙවැනි රාජසිංහයන්ගේ සිරකරුවෙකු බවට පත් වන ඔහුට, විසි වසරක්ම ලංකාවේ ගත කරන්නට සිදු වෙයි. ඉන් පසුව යළිත් බි‍්‍රතාන්‍යයට ගිය රොබට් නොක්ස්, ලංකාවේ ගත කළ ජීවිතය අළලා ලියූ ග‍්‍රන්ථය, zAn Historical Relation of the Island of CeylonZ නමින් 1681 වසරේ දී පළ විය. පසුව ‘එදා හෙළදිව’ නමින් සිංහලයට නැගුණු එහි, අපේ රටේ පැරණි වී ගොවිතැන පිළිබඳව කරුණු ගණනාවක්ම සඳහන් වේ. කෘතියෙහි පැවසෙන අන්දමට, ‘ඉක්මණින් පැසෙන වී වර්ග (බාල වී) රසයෙන් ඉමිහිරි ය. එකල විසූ වී ගොවීහු, තම කුඹුරුවලට පොහොර නො දමති. ඒ වෙනුවට සී සෑමෙන් සහ මඩ කලල් කිරීමෙන් පසෙහි සාරවත් භාවය උපදවා ගනිති!’ සුවඳැල් ද අයත් වන්නේ, ඉක්මණින් පැසෙන වී ගණයට ය. එබැවින් රොබට් නොක්ස්ගේ නිරීක්ෂණය වැදගත් වේ.

බුද්ධදාස මහ රජතුමන් විසින් රචනා කළ ‘වෛද්‍යක සාරාර්ථ සංග‍්‍රහය’ කෘතියෙහි, සඳහන් වන්නේ ‘හැල් ජාතීහු මිහිරි වෙති’ යනුවෙනි. හැල් වී වර්ගවලින් උපදින බත, මිහිරි රසයෙන් ද, සෞම්‍යවූ ඖෂධීය ගුණයෙන් ද පිරිපුන් බව එහි අරුතයි.

සාරාර්ථ සංග‍්‍රහය, චරක සංහිතාව ඇතුළු පැරණි ආයුර්වේද ග‍්‍රන්ථවල එන හැටියට, සුවඳැල් සහලේ බත, මධුර රසයෙන් සහ සුවඳින් යුක්ත ය. එය කසට රසයෙන් යුක්ත වන හෙයින් ශරීරය මනාව වර්ධනය කරයි. කටහඬ මිහිරි සහ පැහැදිලි කරයි. මුත‍්‍ර මෙන්ම, ශුක‍්‍ර ධාතුව ද වර්ධනය කරයි. සුව`දැල් බත ඉදිමුම් රෝගවලට ද ගුණ දායක ය. සුවඳැල් සහල් පරණ වූ විට, එහි බත මධුමේහය හෙවත් දියවැඩියා රෝගයට ගුණදායක ය.

2011 වසරේ දී කාර්මික තාක්ෂණ ආයතනය, කාබනික ක‍්‍රමයට වගා කළ, දේශීය පාරම්පරික සහල් වර්ග 25 ක පෝෂණ සංඝටක සොයා බැලීම පිණිස පර්යේෂණයක් පැවැත්වූයේ ය.  ඒ අනුව, ‘රත් සුවඳැල්’ සහලේ ඉහළම ප්‍රෝටීන සංයුතියක් (සියයට 12.9 ක්) තිබිණි. එහි යකඩ සියයට 2.4 ක් ද, සින්ක් සියයට 3.1 ක් ද විය. එය නව දෙමුහුන් වී වර්ගවල සහල්වලට ද, අනෙකුත් දේශීය පාරම්පරික වී වර්ගවල සහල්වලට ද වඩා ඉහළ තත්ත්වයක් පෙන්නුම් කළේ ය. පෝෂණ සංඝටක සම්බන්ධයෙන් ගත් කල, මෙය ඉහළම තත්ත්වයකි. කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙන් එකල කෙරුණු පර්යේෂණවල දී, ‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික සහල්වල බත, දියවැඩියාව, හෘද රෝග, පෙනහළු සහ ගර්භාෂ පිළිකා මෙන්ම ඉදිමුම් රෝග මර්දනය සම්බන්ධයෙන් ගුණදායක බව හෙළි විණි.

‘කොම්පාස්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ ඉල්ලීමක් පරිදි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්, 2008/2009 වසරවල දේශීය පාරම්පරික සහල් වර්ග 05 ක් පිළිබඳ පර්යේෂණයක් පැවැත්විණි. එයින් හෙළිදරව් වූයේ, කාබනික ක‍්‍රමයට වගා කළ ‘සුදු සුවඳැල්’ සහලේ බතට, රුධිරයේ සීනි පාලනය කිරීමේ ඉහළම ගුණයක් ඇති බවයි.

මින් පෙනෙන්නේ කුමක් ද?, ආයුර්වේද සහ පාරම්පරික භාවිතාව ඔස්සේ හෙළිවී පැවති කාරණා, සත්‍යයක් යයි විද්‍යාත්මක පර්යේෂණ මගින් ද තහවුරු වන  බවයි.

ජන වහරේ එන හැටියට, සුවඳැල් පැසෙන විට කෙත සුවඳ ය. පිසෙන විට, බත ද සුවඳ ය. එහි ඇති වාෂ්පශීලී ස්වාභාවික ‘ඇරෝමැටික’ රසායන වර්ග නිසා සුවඳ හැමීම සිදු වෙයි.  පැරණි රජ දවස සුවඳැල් බත වැළඳුවේ, මහ සඟන,  රජවරුන්, ප‍්‍රභූවරුන් ඇතුළු සුවිශේෂ තැනැත්තන් ය. එය විශේෂ ආහාරයක් විය.

එබැවින් නව අවුරුදු කිරි බතට සුවඳැල් වැළඳීම, සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යවත් ආහාර චර්යාවක් බව කිව යුතු වෙයි.
පින්තූරය-අන්තර්ජාලයෙනි.
(මෙය 2016/04/01. දින 'වලස්පති අඩවියට' ලියූ ලිපියක් ඇසුරින් සැකසිණි.)











No comments:

Post a Comment