Followers

Wednesday 29 March 2017

'මයිල්ඩ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදෙමු

නාගරික නෝනලාගේ
             'මයිල්ඩ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදෙමු

(ක‍්‍රි‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොතෙක් අගහිඟකම් පැවතිය ද දැන් උදාවී ඇත්තේ අප‍්‍රියෙල් මාසයයි. එය මුළු රටම පාහේ උත්සව පවත්වන මාසයක් බව නො දන්නා කෙනෙක් නැත. අප‍්‍රියෙල් මාසයේ ලංකාවේ පැවැත්වෙන ලොකුම ජාතික උත්සවය ‘සිංහල හා හින්දු අලූත් අවුරුදු උත්සවයයි’. සමහරු එයට ‘සිංහල හා දෙමළ අවුරුද්ද’ යයි ද කියති. ලංකාවේ සිංහල ජනයා ද, දෙමළ ජනයා ද සමෝසමේ අලූත් අවඅරුද්ද සැමරීම එයට හේතුවයි. කැලැන්ඩර් ව්‍යවහාරයෙන් අප‍්‍රියෙල් යයි කියන මාසය, දකුණේ සිංහල මාස ක‍්‍රමයට අනුව ‘බක් මාසයයි’.
 


ඡායාරූප-ශ්‍රීලාල් ගෝමස්



මේ ලිපිය ලියන්නේ ළඟ එන ‘අලූත් අවුරුද්ඳ ගැන කීමටම නොවේ. මුළු රටම වැළ`ද ගෙන සිටින ‘ජේත්තුකාර ආහාර සත්තාවක්’, අලූත් අවඅරුද්ද පිටින් දමා ‘යහපත් අතට’ පෙරළාගත හැකි බව මතක්කර දීමට ය. එනම් කොළඹ ද ඇතුළුව නාගරික සමාජයේ දැන උගත් නෝනලා, සිංහල භාෂාවේ ‘ඞ්’ අක්ෂරය නිවැරදිව උසුරුවමින් ‘මයිල්ඞ්’ යයි තෙපලන ඉංගිරිසි වචනයේ ‘රෝගී ස්වභාවය’ ගැන යමක් පැහැදිලිකර දීමට ය! කොළඹ ද ඇතුළුව නාගරික සමාජයේ නෝනලා බොහොම දෙනෙක් ‘බත් කෑම’ සම්බන්ධයෙන් ‘මයිල්ඞ්’ යන කාරණය අධික ලෙස ප‍්‍රිය කිරීම ඊට හේතුවයි.
 
ඔවුන්ට අනුව, ‘බතට’ ගන්නා සහල ‘මයිල්ඞ්’ නැතිනම් එය ‘මහත් ජරා හාලකි’. ඒ අයට ‘රතු සහල්’ ‘අප්පිරියා සහගත’ දෙයකි! හාල්වල ‘පොත්ත රතු' නම් අරහං ය! එබැවින් බොහොම දෙනෙක් බත සරිකර ගන්නේ, ‘සුදු’ සහල්වලිනි. නාගරික සමාජය සහල් තෝරා ගැනීමේ දී ‘මයිල්ඞ්’ යයි කියන්නේ, එයින් ඉදෙන  බත, ‘සුමුදු’, කෑමට පහසු, සිනි`දු බවින් අනූන වීමයි. ‘සුදු සහල් වර්ග’ හෝ ‘රතු කුරුට්ට’ (Bran) ඉවත් වන තරමට පාහින ලද රතු සහල් වර්ග ‘මයිල්ඞ්’ ය.
 
ඔවුන් සිතන ආකාරයට, රතු කුරුට්ට සහිත සහල් වර්ග ‘මයිල්ඞ් නැති බැවින්’ කෑමට දුෂ්කර ය. සුදු සහල් නම් ‘හොඳටෝම මයිල්ඞ්’ ය. අනෙක නාගරික සමාජය බෙහෙවින් ප‍්‍රිය කරන ‘සම්බා’ හෝ ‘කීරි සම්බා’ යන සහල් වර්ග, උපරිමයෙන්ම ‘මයිල්ඞ්’ බව ඔවුන්ගේ ඇදහීමයි. පෙදු ව්‍යවහාරයේ දී ඒවා ‘සුදු සහල්’ ය.
 
නාගරික හෝ වේවා, ග‍්‍රාමීය හෝ වේවා ‘මයිල්ඞ්’  සහල්වල සුමුදු රසයට වහ වැටුණු බොහොම දෙනෙක් නිතර මුණගැසිය හැකි ස්ථාන ද එමට තිබේ. මහේශාක්‍ය පෞද්ගලික රෝහල් හෝ චැනල් සේවා මධ්‍යස්ථාන ඉන් ප‍්‍රධාන ය! දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, පෝෂණ ඌණතා රෝග (නීරක්තිය වැනි) සහ අධි පෝෂණය මුල්කර ගෙන වැළෙඳන රෝගාබාධ ඔවුන් අතර සුලභ ය. ඒ අයට, සුදු හෝ මයිල්ඞ් සහලේ බත කකා, බෙහෙත් බිබී ජීවත් වන්නට සිදුවී තිබේ!
 
දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග සහ වකුගඩුවල ක‍්‍රියාකාරිත්වය අඩපණ වීම වැනි බෝ නො වන, නිදන්ගත රෝග වැළ`දීමට හේතු වන ප‍්‍රධාන කාරණය, ‘මයිල්ඞ්’ හෝ ‘සුදු සහල්’ බත ආහාරයට ගැනීම නො වන බව සත්‍යයකි. එහෙත් එය ‘සැලකිය යුතු කාරණාවක්’ බව වර්තමාන පිළිගැනීමයි! පැරණි දේශීය වෙදකමේ මෙන්ම නව විද්‍යාත්මක පර්යේෂණ මගින් හෙළිදරව්වී ඇත්තේ, ‘මයිල්ඞ් කළ’ රතු සහල් හෝ ‘සුදු සහල්වල’ මෙලෝ පෝෂණ ගුණයක් නැති බවයි! වෛද්‍යවරුන් ද කියන්නේ නිතරම ‘රතු සහල්වල’ බත වළඳන ලෙස ය.
 


ඡායාරූප-ප්‍රෑන්ක් ද සොයිසා

එහෙත් රටවැසියන් විශාල පිරිසක් තවමත් ‘කුරුට්ට’ හෙවත් ‘නිවුඞ්ඩ’ නැසූ රතු සහල් හෝ සුදු සහල් වර්ග හඹා යමින් සිටිති. ළඟ ඔන අලූත් අවුරුද්දට ද ඔවුන් ‘හොඳටෝම මයිල්ඞ් කළ’ රතු සහල් හෝ සුදු සහල් මිල දී ගන්නවා ඇත!
 
ආසියාතිකයන් වන අපට ‘බත’ අතිශයින්ම වැදගත් ය. ඊට හේතු ගණනාවකි.
 
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප‍්‍රධාන  ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 40ක් ද, කැලරි (ශක්තිය) අවශ්‍යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි. එබැවින් මනුෂ්‍යයන්ගේ පෝෂණය සහ සෞඛ්‍යය අතින් ගත් කල, ‘බත’ නො තකා හරින්නට පුළුවන්කමක් නැත.
 
රටට අවශ්‍ය ‘බත’ සැපයීම, ලංකාවේ අතීත  රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප‍්‍රධාන කාර්යභාරය වූයේ ය. එකල භාවිත කෙරුණේ ‘දේශීය පාරම්පරික වී වර්ග’ යි. රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යල’ සහ ‘මහ’ වශයෙන් ‘කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිත විය.
 
වර්තමානයේ රට පුරා වගා කෙරෙන්නේ,  ‘නව වැඩි දියණුු කළ’ නවීන වී ප‍්‍රභේදයන් ය. එසේ වුව ද, බත මෙන්ම සහල ද උපදින ‘වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප‍්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ ‘වී’ වගාව පිණිස ය.  ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග‍්‍රෑම් 4429කි.
 
වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ නවීන වී ප‍්‍රභේද බව ඉහත ද ස`දහන් කළෙමු. ඒ ස`දහා කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක‍්‍රම, නවීන උපකරණ හා යන්ත‍්‍ර ද බහුලව භාවිත කෙරේ. එය නවීන, කෘත‍්‍රිම රසායනික ගොවිතැනකි. ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ. දැන් මුළු රටම නවීන, රසායනික වී ගොවිතැනින් උපදින බත අනුභව කරන බව, මෙහි අර්ථයයි. එය රටට ප‍්‍රචලිත වූයේ වර්ෂ 1960න් පසුව එළඹුණු සුප‍්‍රකට ‘හරිත විප්ලවයේ’ අනුහසිනි.
 
හරිත විප්ලවයෙන් උපන් නවීන බත අනුභව කරන අපට, එසේම ‘මයිල්ඞ් කළ’ හෝ ‘සුදු සහල්’ බහුලව අනුභව කරන අපට දැන් සිදුව ඇත්තේ කුමක් ද? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම සඳහා, ලංකාවේ ‘යුනිසෙෆ්’ ආයතනයේ (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) නිල වෙබ් අඩවියට යා යුතු ය!
 
ලංකාවේ ජනතාවට ඔවුන් පිරිනමා ඇති  ‘සෞඛ්‍ය සහතිකය’ මෙසේ ය.
x    ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන් සියයට 29ක්ම, අඩුබර දරුවන් වශයෙන් (උපත් බර කිලෝග‍්‍රෑම් 2.5ට අඩු) උපත ලැබුවෝ වෙති. රටේ සමහර දිස්ත‍්‍රික්කවල මේ අනුපාතිකය සියයට 37.4කි.
   ලංකාවේ අඩුබර දරුවන් වැඩියෙන්ම වාර්තා වන දිස්ත‍්‍රික්කය (සියයට 32.8) බදුල්ලයි. ඊළඟට ත‍්‍රිකුණාමලය (සියයට 27.8) යි. මහනුවර දිස්ත‍්‍රික්කයේ එය සියයට 25.3කි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියයට 11.6කි.
 
   ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන්, බර අනුව උස ප‍්‍රමාණවත් නො වන පිරිස (Wasting) සියයට 14කි. වයසට අනුව බර නැතිකමින් පෙළෙන පිරිස සියයට 29කි. ළමුන්ගෙන් සියයට 7ක්ම අධික බර ඇති අයයි!
 
   වයස මාස 06-11 අතර දරුවන් ගෙන් සියයට 58ක් ද, මාස 12-23 අතර දරුවන් ගෙන් සියයට 38ක් ද, නීරක්තියෙන් (ලේ හිඟකමෙන්) පෙළෙන්නෝ ය.
x    ගැබිණි කාන්තාවන් අතර නීරක්ති තත්ත්වය සියයට 16කි. 'යුනිසෙෆ්’ නිල වෙබ් අඩවිය මෙසේ කියන විට, සෞඛ්‍ය අමාත්‍යංශය කල සමීක්ෂණයකට අනුව, බෝ නො වන, නිදන්ගත රෝග පිළිබඳ තත්ත්වයන් මෙසේ ය.
 
   රටේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 39කි.
 
x    දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 30.4කි.
 
   හෘද රෝගවලින් පෙළෙන්නන් සංඛ්‍යාව සියයට 9.0කි.
මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක් ද? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත අනුභව කරන මිනිසුන් ලෙඩ දුකට වැඞී ඇති බව නොවේ ද? හො`දටෝම ‘මයිල්ඞ් කළ‘ හෝ ‘සුදු සහල්’ බත් අනුභව කළ අය ද ලෙඩවී ඇති බව නොවේ ද?
 
ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය වර්ෂ 2000 දී පටන්, අපේ රටේ දේශීය පාරම්පරික සහල්වල පෝෂණ ගුණය සහ බෝ නො වන රෝග පාලන ගුණය අරභයා දැවැන්ත පර්යේෂණ මාලාවක් කළේ ය. එය සිදු වූයේ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙනි.
 
කාර්මික තාක්ෂණ ආයතනයේ  විද්‍යාඥයන් වන, ආචාර්ය නන්දනී එදිරිවීර (කෘෂි සහ ආහාර තාක්ෂණ අංශයේ හිටපු ප‍්‍රධානි), දමිතා රාජපක්ෂ, ආචාර්ය තේජා හේරත්, බෝඹුවල වී පර්යේෂණ ආයතනයේ ආචාර්ය අමිතා පී. බෙන්තොට, ආචාර්ය එස්. එම්. විජේසුන්දර ඇතුළු විද්වතුන් පිරිසක් දේශීය සහල්වල පෝෂණ ගුණය අරභයා පර්යේෂණ කළහ. දේශීය පාරම්පරික සහල්වල බෝ නො වන රෝග පාලන ගුණය ගැන පර්යේෂණය කළේ, කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය කාංචනා අබේසේකර මෙනවියයි. පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලය සහ ඇමරිකාවේ අකන්සාස් විශ්වවිද්‍යාලයේ සහාය එයට ලැබිණි.
 
පර්යේෂණ මාලාවෙන්  හෙළිදරව්වූ අන්දමට,
 
x    දේශීය පාරම්පරික රතු සහල් වර්ග (රතු කුරුට්ට සහිත) බොහොමයකම, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග පාලනය කිරීමේ විශිෂ්ඨ ගුණයක් ඇත.
 
x    එසේම දැනට භාවිතයේ ඇති ‘නව වැඩි දියුණු කළ’ වී වර්ගවල ‘රතු සහලේ’ ද (රතු කුරුට්ට සහිත), බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණ යම් තරමකට තිබේ. එහෙත් දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණය ඊට වඩා වැඩි ය.
 
   පොදුවේ, රතු කුරුට්ට සහිත සහල්වල බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණ යහමින් තිබේ. එහෙත් සුදු සහල්වල හෝ රතු කුරුට්ට ඉවත් කළ (මයිල්ඞ් කළ) සහල්වල එබඳු ගුණයක් නැත්තේ ය. සහල්වල ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණ සියල්ල, එහි ඇති ‘රතු කුරුට්ටේ’ අන්තර්ගතව තිබීම ඊට හේතුවයි. කුරුට්ට හෙවත් නිවුඞ්ඩ ඉවත් කළ විට, සහලේ ඇති යකඩ සංයුතිය සියයට 80කට වඩා ඉවත්ව යයි.

x බෝ නො වන රෝග පාලනය සම්බන්ධයෙන්, සුදු හීනැටි, ගොඩ හීනැටි, දික් වී සහ මසුරන් යන දේශීය පාරම්පරික සහල් වර්ගවල ඇති ගුණය ඉතා විශිෂ්ඨ බව පර්යේෂණයෙන් හෙළි විය.
 
එබැවින් කාර්මික තාක්ෂණ ආයතනය කියන්නේ, නිතරම ‘රතු සහල්’ (මයිල්ඞ් නො කළ) ආහාරයට ගැනීමෙන් නිරෝගී ජීවිතයකට උරුමකම් කිව හැකි බව ය. එසේම දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල බත අනුභව කරන්නට හැකි නම්, ඊටත් වඩා හොඳ ය. එයින් නිරෝගී බව තව තවත් වැඩි වේ!
 
කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයට හසුවූ දේශීය පාරම්පරික සහල් වර්ග 25කින්, වැඩිම ප්‍රෝටීන් සංයුතිය වාර්තා වූයේ (සියයට 13.3ක්) පච්චපෙරුමාල් සහලෙනි. අවමය වාර්තා වූයේ (සියයට 10.7* සුලැයි සහලෙනි. පාරම්පරික සහල්වල යකඩ සංයුතිය වැඩිම (සියයට 3.4ක්) සහල රතු හීනැටි ය. අඩුම සහල (සියයට 2.1) හොඬරවාල ය. දේශීය පාරම්පරික සහල්වල සින්ක් සංයුතිය ද සියයට 2.9ත් 3.9ත් අතර විය.

   එහෙත් ජනප‍්‍රිය ‘කීරි සම්බා’ (බී. ජී. 360) සහලේ ප්‍රෝටීන සංයුතිය සියයට 7.4කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.5කි.
 
x    සුප‍්‍රකට මහ සම්බා (බී. ජී. 358) සහලේ ප්‍රෝටීන සංයුතිය සියයට 6.6කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.7කි.
 
   ‘බී. ජී. 352’ නම් සුදු සහලේ, ප්‍රෝටීන සංයුතිය සියයට 7.5කි. යකඩ සංයුතිය සියයට 1.9කි. සින්ක් සංයුතිය සියයට 2.9කි.
 
මෙයින් පෙනෙන්නේ සුප‍්‍රකට, මහේශාක්‍ය, මිල අධික, කීරි සම්බා ඇතුළු සුදු සහල් වර්ගවල මෙලෝ ගුණයක් නැති බව ය. එසේම ඒවා නිරන්තරව ආහාරයට ගැනීමෙන් මහජනයාගේ සෞඛ්‍යය රැකෙන්නේ ද නැති බව ය!
 
එබැවින් මෙවර අලූත් අවුරුද්දට, ‘මයිල්ඞ් නො කළ’ රතු සහල් අනුභව කිරීමෙන් නිරෝගිමත් ජීවිතයකට මුල පුරන්නට පුළුවන. නාගරික නෝනලාගේ ‘මයිල්ඞ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදී, ‘රතු සහල්’ භාවිතයට එළඹීම කොයි අතටත් හොඳ ය!
-සමාප්තයි-
2017/03/29.


No comments:

Post a Comment