Followers

Wednesday 29 March 2017

බෝ නො වන රෝග පාලනයට දේශීය පාරම්පරික රතු සහල්


 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජර්මනියේ පිහිටි
‘Lambert Academic Publishing’ නමැති ජාත්‍යන්තර ප‍්‍රකාශන ආයතනය, 2016 ජූලි මස 19 වැනි දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කදිම පර්යේෂණ ග‍්‍රන්ථයක් මුද්‍රණයෙන් නිකුත් කළේ ය. පොත් අලෙවිය පිළිබඳව ලොව සුප‍්‍රකට
‘Amazon’  වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට ඉංග‍්‍රීසි බසින් ලියැවුණු නව ග‍්‍රන්ථය,‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් වෙයි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වෙති.
 
නව ග‍්‍රන්ථය පිටු 392ක් පුරා දිවෙන්නකි. එහි සාකච්ඡුාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ඔවුන් කළ පර්යේෂණයක අපූර්ව තොරතුරු ය.
 
 
ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා
ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, නව ග‍්‍රන්ථය මගින් සවිස්තරාත්මකව අවධාරණයකර තිබේ.
 
දියවැඩියාව පමණක් නොවේ. දේශීය පාරම්පරික රතු සහල්, එයින් හට ගන්නා ඇස් නො පෙනී යාම, තුවාල සුව නොවීම, හෘද රෝග තත්ත්වයන්ට මග පෑදීම වැනි අතුරු ආබාධ පවා පාලනය සහ මැඩ පැවැත්වීමේ ගුණයෙන් ද පිරිපුන් බව නව ග‍්‍රන්ථය කියයි. කතුවරුන් එය පළකර ඇත්තේ, වසර 2000 දශකයේ පටන් ඔවුන් පවත්වා ගෙන එන පර්යේෂණ මාලාවක් පදනම්කර ගනිමිනි.
 

‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ කෘතියේ කතුවරුන් අතරින්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතා, කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. ආචාර්ය කාංචනා අබේසේකර මෙනවිය  ද, කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්‍යාඥවරියකි. දේශීය පාරම්පරික සහල් වර්ගවල ගුණාංග සම්බන්ධයෙන් ඔවුන් කළ පර්යේෂණයට, පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ ද, ඇමරිකාවේ අකන්සාස් විශ්වවිද්‍යාලයේ ද විද්වත් සහාය ලැබිණි. ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සහ ජාතික විද්‍යා පදනමෙන් පර්යේෂණ මාලාවට අරමුදල් සැපයිණි.
 
ආචාර්ය කාංචනා අබේසේකර මෙනවිය
ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ගවල ගුණාංග සම්බන්ධයෙන්, ඇතැම් කාරණා හෙළිදරව්කර ගෙන ඇත්තේ ප‍්‍රථම වතාවට ය. එසේම, ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පතින් නිපැයෙන රතු සහලේ බතට, ‘බෝ නො වන රෝග’ පාලනය සහ මැඩ පැවැත්වීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව සොයා ගෙන ඇත්තේ ද ලොව මුල් වරට ය. එය අලූත්ම සොයා ගැනීමකි.
 
කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් කළ නව සොයා ගැනීමෙන් අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්, ‘නිවුඩ්ඩ’  (Bran/කුරුට්ට) සහිත දේශීය පාරම්පරික රතු සහල් වර්ගවලට  උසස් හැකියාවක් ඇති බවයි! ඒවා අතර, ‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික සහල් වර්ගවලට ඉහළම තැනක් හිමි වේ. මේ බව අනාවරණයකර ගෙන ඇත්තේ, දේශීය පාරම්පරික රතු සහල්වල නිවුඞ්ඩෙන් ලබා ගත් නිස්සාරණ පර්යේෂණයට ලක් කිරීමෙනි.
 
සිය පර්යේෂණ සඳහා ඔවුන් මිනිස් රුධිරය, මිනිස් ජීව ෙසෙල, සහ පර්යේෂණ මීයන් ද යොදා ගෙන තිබිණි. සියල්ල විද්‍යාගාර පර්යේෂණ විය. දේශීය පාරම්පරික සහලින් හඳුනා ගත් බෝ නො වන රෝග පාලන සංයෝග, ‘ඖෂධ’ නිපදවීම දක්වා වැඩි දියුණු කළ හැකි බව ද පර්යේෂකයෝ පවසති.
 
1960 දශකයේ පටන් අපේ රටේ ක‍්‍රියාත්මක කෙරුණේ ‘හරිත විප්ලව අච්චුවේ’ නවීන ගොවිතැනකි. නව වැඩි දියුණු කළ දෙමුහුන් වී වර්ග, කෘතිම කෘෂි රසායන (කෘතිම පොහොර සහ කෘමි සහ වල් මර්දන රසායන) මෙන්ම යාන්ත‍්‍රික කෘෂි මෙවලම් (ට‍්‍රැක්ටර් ආදී) ද ඊට ඇතුළත් විය. ඒ සමගම, දේශීය පාම්පරික වී ගොවිතැන සහ අනෙකුත් බව බෝග ද, පැරණි කෘෂි තාක්ෂණික දැනුම ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. ඒ වෙනුවට වස-විස සපිරි ‘නවීන ගොවිතැන’ ආදේශ විය.
 
ගෙවී යමින් පවතිනුයේ 2016 වර්ෂයයි. හරිත විප්ලවයට දැන් වසර 56කි. අද අපට ඉතිරිව ඇත්තේ කුමක් ද, හරි හමන් පෝෂණයක් නො ලබන, බෝ නො වන රෝගවලින් පීඩා විඳිමින් අසරණව, අකාලයේ මරණයකරා යමින් සිටින රටක් නොවේ ද? දියවැඩියාව, හෘද රෝග, අධික රධිර පීඩනය, පිළිකා සහ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ආදී අයහපත් තත්ත්වයන් දැන් සුලභවි තිබේ!
 
දියවැඩියාව
දියවැඩියාව යනු, මනුෂ්‍ය රුධිරයේ ඇති සීනි (ග්ලූකෝස්) ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස (අවශ්‍ය තරමට වඩා) ඉහළ යාමෙන් ඇති වන රෝගී තත්ත්වයයි. එය ඉතා බිහිසුණු රෝගයකි. ඉන් ශරීරයේ  ඕනෑම ඉන්ද්‍රිය පද්ධතියකට අහිතකර බලපෑම් එල්ලවිය හැකි ය. එයින් මරණයකරා මාවතක් ද විවර වීමට පුළුවන. ඇස් පෙනීමේ දුර්වලතා (දෘෂ්ඨි ආබාධ), වකුගඩු අකර්මණ්‍ය වීම, හෘද්‍යාබාධ, ස්නායු ආබාධ, සහ අංශභාගය වැනි බෝ නො වන රෝග තත්ත්වයන් එයින් ඇති වීමට පුළුවන. තුවාල සුව නො වීමේ තත්ත්වයන් ද ඇති විය හැකි ය. එබැවින් දියවැඩියාව ලෝකයේ මෙන්ම ලංකාවේ ද විශාල සෞඛ්‍ය ගැටලූවකි.
 
ලෝක මට්ටමෙන් ගත් කල, 2000 වසර වන විට වාර්තාවූ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව, සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 2.8කි. එනම් මිලියන 171කි. 2030 වසර වන විට එය මිලියන 366ක් දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයන් විසින් ඇස්තමේන්තුකර තිබේ. ඔවුන් පළකර ඇති අලූත්ම තොරතුරු අනුව, දියවැඩියාවට ගොදුරුවූ පිරිස අතරින් සියයට 80ක්ම වාර්තා වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලිනි. 2014 වසරේ දී, ලෝක මට්ටමෙන් වාර්තාවූ දියවැඩියා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව මිලියන 4.9කි. ‘IDF DIABETES  ATLAS-Sixth edition’ නමැති ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ දැක්වෙන අන්දමට, 2014 වසරේ දී ලෝකයේ සෑම තත්පර හතකටම එක් අයෙකු බැගින් දියවැඩියාවෙන් මරණයට පත් වෙමින් සිටියහ!
 
චීනය, ඉන්දියාව, ඇමරිකාව, රුසියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ජපානය සහ බංග්ලාදේශය ලොව දියවැඩියාව බහුලව පවතින රටවල් ලෙස සැලකේ. එසේම දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින රටවල් අතරින් දෙවැනි තැන ලැබී ඇත්තේ ශ‍්‍රී ලංකාවට ය!
 
2016 වසරේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පණිවුඩයක්  නිකුත් කළ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉතා බරපතල කාරණයක් අවධාරණය කළේ ය. ලංකාවේ සමස්ත ජනගහණයෙන් ද විශාල පිරිසකට දියවැඩියා රෝගය වැළඳී ඇති බව, ඒ බරපතල කාරණයයි. අපේ රටේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2014 වසරේ නිකුත් කළ ‘National Survey on self-reported Health in Sri Lanka’ නමැති සමීක්ෂණ වාර්තාවට අනුව, ලංකාවේ ජනගහණයෙන් සියයට 17.8ක් නිදන්ගත රෝගවලින් පෙළෙති. ඉන් සියයට 30.4ක්ම දියවැඩියා රෝගීන් වේ.
 
දියවැඩියාව මුළු රටම ගිලගනිමින් සිටින බව ඉන් පැහැදිලි වේ. එය බරපතල ප‍්‍රශ්නයකි.
 
පිළිකා රෝග
පිළිකා වූ කලී, ලොව අතිශයින්ම බිහිසුණු මාරාන්තික රෝග තත්ත්වයකි.
zAmerican Cancer Society’ ආයතනය අන්තර්ජාලයට නිකුත් කළ තොරතුරු අනුව, 2012 වසරේ  ලොව වාර්තා වූ නව පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 14.1කි. රෝගයෙන් මියගිය සංඛ්‍යාව මිලියන 8.2කි. ඔවුන් ඇස්තමේන්තු කරන ආකාරයට, 2030 වසර වන විට ලෝකයේ නව පිළිකා රෝගීන් සංඛ්‍යාව හෙවත්, අලූතින් හඳුනා ගන්නා පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 21.7ක් වනු ඇත. මරණ සංඛ්‍යාව මිලියන 13ක් වනු ඇත. පිළිකා රෝගයට ගොදුරු වන ජන සංඛ්‍යාව වසරින් වසර වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ඉන් පැහැදිලි වේ. ලෝකයට එය බරපතල ප‍්‍රශ්නයකි.
 
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ‘පිළිකාව’ බරපතල ගැටලූවකි. සෞඛ්‍ය අමාත්‍යංශය 2013 වසරේ නිකුත් කළ zAnnual  Health BulletinZ වාර්තාවට අනුව, ලංකාවේ පිළිකා රෝග ව්‍යාප්තිය ද අතිශයින්ම බරපතල ය.
 
එහි සඳහන් වන අන්දමට, 1985 වසරේ වාර්තාවූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 5012කි. එනම් එවකට රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 31.6කි. 2008 වසර වන විට එය රෝගීන් 16,511ක් දක්වා ඉහළ ගියේ ය. එය රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 81.6කි. 2009 වසරේ දී රජයේ රෝහල්වල අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 20,538ක් විය. 2013 වසර වන විට එය 25,515ක් දක්වා ඉහළ ගියේ ය.
 
මින් පෙනී යන්නේ පිළිකා රෝගය ලංකාව ද ගිල ගනිමින් සිටින බව ය.
 
ලෝක මට්ටමෙන් ගත් කල, ‘පෙනහළු පිළිකා’ බරපතලම ප‍්‍රශ්නයකි. එය පිළිකා රෝගය හේතුවෙන් සිදු වන මරණ අතර වැඩිම ප‍්‍රතිශතය හිමිකර ගනියි. ගර්භාෂ පිළිිකා ද ලොව කාන්තාවන් මුහුණ දෙන බරපතල ප‍්‍රශ්නයකි. ලංකාවේ ද පෙනහළු, ගැබ්ගෙල, මුඛ, පියයුරු, බඩවැල්, ගුද මාර්ගය සහ මොළය ආශ‍්‍රිත පිළිකා බහුල වෙමින් තිබේ. ලේ පිළිකා හෙවත් ‘ලියුකේමියා’ තත්ත්වයන් ගැන ද දැන් නිතර අසන්නට ලැබේ.
 
එබැවින් කාර්මික තාක්ෂණ ආයතනය දේශීය පාරම්පරික සහලේ ඖෂධීය සහ පෝෂණීය ගුණ සම්බන්ධයෙන් කළ පර්යේෂණ මාලාව රටට ඉතාමත් වැදගත් වේ. බෝ නො වන රෝගවලින් මිදෙන්නට එයින් නව මාවතක් විවෘත වීම ඊට හේතුවයි. වස විසෙන් මිදී, මුළු රටම යළි දේශීය පාරම්පරික වී ගොවිතැනත්, ඉන් නිපැයෙන බතත්,  වැළ`දගත යුතුය යන කාරණය ඔවුන්ගේ පර්යේෂණ ඔස්සේ විවර වන නව මාවතයි. එහි ගමන් කරන අයට, ශරීර පෝෂණ මෙන්ම නිරෝගීභාවය ද නිතැතින්ම මුණ ගැසෙනු ඇත්තේ ය!
 
කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණයේ දී සහල් වර්ගවල ‘නිවුඞ්ඩෙහි’ (කුරුට්ට/Bran) ඇති ගුණ පිළිබඳ සොයා බැලිණි. මේ සඳහා, දැනට භාවිතයේ පවතින සහල් වර්ග මෙන්ම දේශීය පාරම්පරික සහල් වර්ග ඇතුළු සහල් ප‍්‍රභේද 40ක් නියැදියක් වශයෙන් විශ්ලේෂණය කෙරිණි. ඉන් අනාවරණය වූයේ පොදුවේ රතු සහල්වල නිවුඞ්ඩෙන් ලබා ගත් නිස්සාරණවල, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණ (‘ඇල්ෆා ඇමයිලේස්’ එන්සයිමයේ ක‍්‍රියාකාරිත්වය  පාලනය කිරීමේ) බහුලව තිබෙන බවයි. එසේම දේශීය පාරම්පරික සහල්වල එම ගුණය ඉතා විශිෂ්ඨ බව ද හෙළි විය.
ඒ අතරින් සුදු හීනැටි, ගොඩ හීනැටි, දික් වී, සහ මසුරන් යන සහල්වල, රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය සියයට 80ක් පමණ වෙතියි අනාවරණය විය. ඒවායින් ද හොඳම සහල් වර්ගය වූයේ ‘මසුරන්’ ය.
 
පිළිකා රෝග පර්යේෂණය 
පිළිකා රෝග පාලනය සහ මැඩ පැවැත්වීම අරභයා පර්යේෂණය පැවැත් වූයේ පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ දී ය.
එහි දී සුදු හීනැටි, මසුරන්, ගොඩ හීනැටි, සහ දික් වී යන දේශීය පාරම්පරික සහල්වල ඇති ගුණ පිළිබඳ සලකා බලන ලදී.  එසේම ඒවාට පිළිකා රෝග මර්දනය සඳහා කොපමණ හැකියාවක් ඇති දැයි සොයා බලන්නට කටයුතු කෙරිණි.
 
එය සිදු වූයේ, මිනිස් පිළිකා ‍ෙසෙල පර්යේෂණාගාරයේ දී ගුණනය කිරීම් ඔස්සේ ය. ඉන් හෙළි වූයේ දේශීය පාරම්පරික සහල්වල පිළිකා ෙසෙල වර්ධනය අඩාල කිරීමේ ගුණ බහුලව පවතින බවයි. එසේම පිළිකා රෝග වර්ධනයට තුඩු දෙන එන්සයිමවල ක‍්‍රියාකාරිත්වය අඩු කරන සංයෝග ද ඒවායෙහි ඇති බව සොයා ගැනුණි.
 
පර්යේෂණයේ තවත් අදියරක් ක‍්‍රියාත්මක වූයේ ඇමරිකාවේ ‘අකන්සාස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ’ දී ය. එහි දී කළ පර්යේෂණවලින් පිළිකා රෝග මර්දනය සම්බන්ධව තවත් කරුණු රැුසක්ම හෙළි විණි. ඒ අනුව, ආහාර මාර්ගයේ පිළිකා, ආමාශයේ පිළිකා සහ රුධිරයේ පිළිකා ආදිය මර්දනය සඳහා, සුදු හීනැටි, මසුරන්, ගොඩ හීනැටි, සහ දික් වී යන දේශීය පාරම්පරික සහල් වර්ග ගුණදායක බව අනාවරණය විය.

රට තුළ බහුලව වගා කරන, එමෙන්ම මහජනයා බහුලව ආහාරයට ගන්නා නව වැඩිදියුණු කළ සුදු සහල් වර්ගවල ඖෂධීය සහ පෝෂණීය ගුණ බෙහෙවින් අඩු බව ද පර්යේෂණයෙන් හෙළි විය. එසේම රතු සහල් වුව, නිවුඞ්ඩ ඉවත්කර ආහාරයට ගැනීමෙන් කිසිදු ගුණයක් නො ලැබෙන බව ද අනාවරණය විය.

මෙය ඉතා වටිනා පර්යේෂණ ක‍්‍රියාවලියකි. දේශීය පාරම්පරික සහල් වර්ගවල ඇති ඖෂධීය ගුණ පිළිබ`දව, අපේ ගොවීන්ට මෙන්ම බත් කන මහජනයාට ද උසස් මට්ටමේ විද්‍යාත්මක තක්සේරුවක් ලැබීම ඊට හේතුවයි. ඔවුන් කළ සොයා ගැනීම්, ‘දේශීය පාරම්පරික වී ගොවිතැන නිස්සාර යැයි’ ප‍්‍රචලිත කෙරුණු හරිත විප්ලව මතවාදයන්ට දුන් අතුල් පහරක් වැන්න!
 
දේශීය පාරම්පරික සහලෙහි ඖෂධීය සහ පෝෂණීය ගුණ බහුලව ඇතැයි යන්න, ඉතා පැරණි කතිකාවකි. දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රියාවලියේ දී අනාදිමත් කාලයක් මුළුල්ලේ ඒවා භාවිත කෙරිණි. එසේම ජන භාවිතාවේ දී ද ඒවා ඉහළින්ම යොදා ගැනුණි. දේශීය පාරම්පරික සහල් අරභයා මහජනතාව සතුව පැවති දැනුම් සම්භාරය ද ඉතා විශාල ය. එසේ වුව ද, දේශීය පාරම්පරික සහල් සම්බන්ධයෙන් පුළුල් නවීන විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් කෙරුණේ මුල් වතාවට ය. ඉතින් කාර්මික තාක්ෂණ ආයතනය කළ හැදෑරීම් සියල්ල ඉතා ප‍්‍රශංසනීය වේ.
2016/10/03.

No comments:

Post a Comment