Followers

Friday, 31 March 2017

සුවඳැල් බතේ වරුණ

අවුරුදු කිරි බතට 
සෞභාග්‍යවත් සුවඳැල්

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එළඹුණේ අප‍්‍රියෙල් මාසයයි.  තව දෙ සතියකින් පමණ මෙවර (2017) සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද එළඹේ. මේ දිනවල රටේ ඇතැමෙක්, ‘සුවඳැල් සහල්’ සොයා ඇවිදිමින් සිටිති. වස-විසෙන් තොරව වගා කළ, පෝෂ්‍ය ගුණයෙන් අනූන, ඉදෙන විට සුවඳ හමන, පාරම්පරික දේශීය සහලකින් අලූත් අවුරුදු කිරිබත පිස ගැනීම, ඔවුන්ගේ අභිප‍්‍රායයි. ඒ සඳහා දැන් වැඩි දෙනෙකුගේ තෝරා ගැනීම, ‘සුවඳැල් සහල්’ ය. දකුණේ නම්, ‘මා වී සහල්’ ය. ‘සුවඳැල් සහලේ බත’, වැඩි පෝෂණ ගුණයක් මෙන්ම, රුධිරයේ සීනි පාලනය කිරීිමේ ගුණයෙන් ද පිරිපුන් බව හෙළිදරව් වීම, මෙබඳු ඉල්ලූමක් ඇති වීමට හේතුව ය. ‘මඩතවාලූ’ සහලේ බත ද කිරිබතට හොඳ ය. කොයි හැටි වෙතත්, අවුරුදු කිරිබතක් කන්නට වස-විසෙන් තොර, දේශීය, පාරම්පරික සහලක් සොයා ඇවිදීම, වර්තමානයෙහි අතිශයින්ම සෞභාග්‍යවත් සිතිවිල්ලකි.



දේශීය පාරම්පරික වී වර්ග කාබනික ක‍්‍රමයට වවන සුළුතරයක් ගොවීහු, මෙවර ද සිය ගොවි සංවිධාන ඔස්සේ ‘සුවඳැල් සහල්’ සැපයීමට ඉදිරිපත්ව සිටිති.

පැරණි භාවිතාවේ හැටියට, ‘සුවඳැල්’ යනු ‘හැල්’ (සංස්කෘත බසින් ‘ශාලිං’) හෙවත් ‘ඇල්’ වී වර්ගයකි. ඒ අනුව, ‘සුවඳ හමන ඇල්, සුව`දැල්’ වන්නේ ය. (නැතිනම්, ‘සුවඳ හමන හැල්, සුවඳැල්’) දේශීය සුවඳැල් වර්ග දෙකකි. ඉන් එකක්, ‘සුදු සුවඳැල්’ ය. අනෙක, ‘රත් සුවඳැල්’ ය. ඒවා වපුරා මාස තුනකින් පැසෙන, ‘බාල වී’ ගණයට අයත් ය.

බාල වී යයි කියන්නේ, ඉක්මණින් පැසෙන වී වර්ග වලට ය. ඒ සමගම රොබට් නොක්ස් ද සිහිපත් වෙයි. රොබට් නොක්ස්, බි‍්‍රතාන්‍ය ජාතික නාවිකයෙකි. ඔහු ක‍්‍රිස්තු වර්ෂ 16 වැනි සියවසේ දී, අහම්බෙන් ලංකාවට ගොඩ බසින්නට සිදු වෙයි. එහි දී, ශ‍්‍රී ලංකාවේ මහ රජ්ජුරුවන් වූ, දෙවැනි රාජසිංහයන්ගේ සිරකරුවෙකු බවට පත් වන ඔහුට, විසි වසරක්ම ලංකාවේ ගත කරන්නට සිදු වෙයි. ඉන් පසුව යළිත් බි‍්‍රතාන්‍යයට ගිය රොබට් නොක්ස්, ලංකාවේ ගත කළ ජීවිතය අළලා ලියූ ග‍්‍රන්ථය, zAn Historical Relation of the Island of CeylonZ නමින් 1681 වසරේ දී පළ විය. පසුව ‘එදා හෙළදිව’ නමින් සිංහලයට නැගුණු එහි, අපේ රටේ පැරණි වී ගොවිතැන පිළිබඳව කරුණු ගණනාවක්ම සඳහන් වේ. කෘතියෙහි පැවසෙන අන්දමට, ‘ඉක්මණින් පැසෙන වී වර්ග (බාල වී) රසයෙන් ඉමිහිරි ය. එකල විසූ වී ගොවීහු, තම කුඹුරුවලට පොහොර නො දමති. ඒ වෙනුවට සී සෑමෙන් සහ මඩ කලල් කිරීමෙන් පසෙහි සාරවත් භාවය උපදවා ගනිති!’ සුවඳැල් ද අයත් වන්නේ, ඉක්මණින් පැසෙන වී ගණයට ය. එබැවින් රොබට් නොක්ස්ගේ නිරීක්ෂණය වැදගත් වේ.

බුද්ධදාස මහ රජතුමන් විසින් රචනා කළ ‘වෛද්‍යක සාරාර්ථ සංග‍්‍රහය’ කෘතියෙහි, සඳහන් වන්නේ ‘හැල් ජාතීහු මිහිරි වෙති’ යනුවෙනි. හැල් වී වර්ගවලින් උපදින බත, මිහිරි රසයෙන් ද, සෞම්‍යවූ ඖෂධීය ගුණයෙන් ද පිරිපුන් බව එහි අරුතයි.

සාරාර්ථ සංග‍්‍රහය, චරක සංහිතාව ඇතුළු පැරණි ආයුර්වේද ග‍්‍රන්ථවල එන හැටියට, සුවඳැල් සහලේ බත, මධුර රසයෙන් සහ සුවඳින් යුක්ත ය. එය කසට රසයෙන් යුක්ත වන හෙයින් ශරීරය මනාව වර්ධනය කරයි. කටහඬ මිහිරි සහ පැහැදිලි කරයි. මුත‍්‍ර මෙන්ම, ශුක‍්‍ර ධාතුව ද වර්ධනය කරයි. සුව`දැල් බත ඉදිමුම් රෝගවලට ද ගුණ දායක ය. සුවඳැල් සහල් පරණ වූ විට, එහි බත මධුමේහය හෙවත් දියවැඩියා රෝගයට ගුණදායක ය.

2011 වසරේ දී කාර්මික තාක්ෂණ ආයතනය, කාබනික ක‍්‍රමයට වගා කළ, දේශීය පාරම්පරික සහල් වර්ග 25 ක පෝෂණ සංඝටක සොයා බැලීම පිණිස පර්යේෂණයක් පැවැත්වූයේ ය.  ඒ අනුව, ‘රත් සුවඳැල්’ සහලේ ඉහළම ප්‍රෝටීන සංයුතියක් (සියයට 12.9 ක්) තිබිණි. එහි යකඩ සියයට 2.4 ක් ද, සින්ක් සියයට 3.1 ක් ද විය. එය නව දෙමුහුන් වී වර්ගවල සහල්වලට ද, අනෙකුත් දේශීය පාරම්පරික වී වර්ගවල සහල්වලට ද වඩා ඉහළ තත්ත්වයක් පෙන්නුම් කළේ ය. පෝෂණ සංඝටක සම්බන්ධයෙන් ගත් කල, මෙය ඉහළම තත්ත්වයකි. කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙන් එකල කෙරුණු පර්යේෂණවල දී, ‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික සහල්වල බත, දියවැඩියාව, හෘද රෝග, පෙනහළු සහ ගර්භාෂ පිළිකා මෙන්ම ඉදිමුම් රෝග මර්දනය සම්බන්ධයෙන් ගුණදායක බව හෙළි විණි.

‘කොම්පාස්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ ඉල්ලීමක් පරිදි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්, 2008/2009 වසරවල දේශීය පාරම්පරික සහල් වර්ග 05 ක් පිළිබඳ පර්යේෂණයක් පැවැත්විණි. එයින් හෙළිදරව් වූයේ, කාබනික ක‍්‍රමයට වගා කළ ‘සුදු සුවඳැල්’ සහලේ බතට, රුධිරයේ සීනි පාලනය කිරීමේ ඉහළම ගුණයක් ඇති බවයි.

මින් පෙනෙන්නේ කුමක් ද?, ආයුර්වේද සහ පාරම්පරික භාවිතාව ඔස්සේ හෙළිවී පැවති කාරණා, සත්‍යයක් යයි විද්‍යාත්මක පර්යේෂණ මගින් ද තහවුරු වන  බවයි.

ජන වහරේ එන හැටියට, සුවඳැල් පැසෙන විට කෙත සුවඳ ය. පිසෙන විට, බත ද සුවඳ ය. එහි ඇති වාෂ්පශීලී ස්වාභාවික ‘ඇරෝමැටික’ රසායන වර්ග නිසා සුවඳ හැමීම සිදු වෙයි.  පැරණි රජ දවස සුවඳැල් බත වැළඳුවේ, මහ සඟන,  රජවරුන්, ප‍්‍රභූවරුන් ඇතුළු සුවිශේෂ තැනැත්තන් ය. එය විශේෂ ආහාරයක් විය.

එබැවින් නව අවුරුදු කිරි බතට සුවඳැල් වැළඳීම, සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යවත් ආහාර චර්යාවක් බව කිව යුතු වෙයි.
පින්තූරය-අන්තර්ජාලයෙනි.
(මෙය 2016/04/01. දින 'වලස්පති අඩවියට' ලියූ ලිපියක් ඇසුරින් සැකසිණි.)











ලුණුගම්වෙහෙර ජල අරගලය



මෑත ලංකාවේ කෙරුණු 
විශාලතම ජල අරගලය-ලුණුගම්වෙහෙර




(ක්‍රිෂ්ණ විජේබන්ඩාර)

කැන්ටර් ලොරි කෑල්ලක බැඳ තිබූ ‘ලවුඞ්ස්පීකරය’ උස් හඬින් නින්නාද විය.

‘සුළු මොහොතකට හැම දෙනාම නිශ්ශබ්ද වෙන්න’ ඉන් හඬ නැගිණි. එය ග‍්‍රාම නිලධාරී පී. මුතුමාල මහතාගේ කටහඬ ය!

මැණික් ගං ඉවුරේ පැරණි ‘අලි කාණුව’ අසලට රැස්ව සිටි හාර දහසකට අධික ගොවීන් පමණක් නොව, යාල මහ වනය පවා සැණෙකින් නිහඬ වූවා වැන්න.

‘අපි දැන් ඇළ කැපීමේ ශ‍්‍රමදානය ආරම්භ කරන්නයි යන්නේ. අපි මෙතැනින් වැඩ පටන් ගන්නවා. අලි කාණුව දිගේ ගියාම, එක් එක් ගොවි සංවිධානවලට වෙන් කරලා තියෙන කොටස් පෙනේවි. දැන් වැඩ ආරම්භ කළාට පස්සේ දහවල් කෑම කාලා, ඒ තැන්වලට ගිහින් වැඩකර ගෙන යන ලෙස ඉල්ලා සිටිනවා. අවශ්‍ය මගපෙන්වීම් කැලේ ඇතුළෙදි ලැබේවි. දැන් අපි මෙතැන සිටින සියලූම දෙනා අතරින්, ලූණුගම්වෙහෙර ව්‍යාපාරේ පැරණිම ගොවියාට මෙතැනට ආරාධනා කරනවා, මුලින්ම පස් පිඩැල්ලක් කපලා මැණික් ගඟ ලූණුගම්වෙහෙරට හැරවීමේ කටයුත්ත ආරම්භ කරන ලෙස’, මුතුමාල මහතාගේ හඬ වනය පුරා ගිගුම් දුන්නේ ය.

'එන්ඩ, එන්ඩ, මහ ගොවියා එන්ඩ’ රන්ජිත් කුමාරසිංහ මහතා ගං ඉවුරේ සිට අඬ ගැසුවේ කඩිනමිනි.

‘මහ ගොවියා’ අනිකෙකු නොව, ‘තිස්සවැවේ කලූ මහත්තයා’ ය. වඩාත් නිවැරදිව කියනවා නම්, පී. ඒ. ධර්මදාස (71) ගොවි මහතා ය.
ගං ඉවුරේ සිටි ගොවීන් පිරිසක් ගෙදරින් ගෙනා ගොක් අත්තක් වියා, පහන් පැලක් සකස්කර තිබිණි. ඔවුහු මහත් බැතියෙන් එය දැල්වූහ. ගඟ හැරවීම සාර්ථක වේවා යයි ප‍්‍රාර්ථනා කළහ. තිස්සමහාරාම, ඇල්ලගල, ක්ෂේත‍්‍රාරාම විහාරාධිපති, දෙනගම ඥණරතන හිමියන් ප‍්‍රමුඛ වනයට මැඩමකර සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනයක් ඇරඹූහ.

පී. ඒ. ධර්මදාස මහ ගොවියා, ඒ වන විට හැත්තෑ එක් හැවිරිදියෙකි. ඔහු තිස්සවැව ගොවි ජනපදයට පැමිණ ඇත්තේ 1949 වර්ෂයේ දී ය. ඔහු ගං ඉවුරෙන් බැස්සේ කුමාරසිංහ මහතාගේ අතේ එල්ලී ගෙන ය. 

හෙතෙම මුලින්ම සාර මහ පොළොවටත් දෙවනුව, මැණික් ග‍ඟේ රන් දියවරටත් වැඳ නමස්කාර කළේ ය. ඊළඟට උදැල්ලක් ගෙන ඇළ කැපීම ආරම්භ කරමින්, පස් පිඩැල්ලක් කපා දැම්මේ ය!

රැස්ව සිටි හාර දහසක් ගොවීහු එකෙණෙහි සාදුකාර දුන්හ. ඊළඟට මහ වනය ගිගුම් දෙන පරිද්දෙන් අත්පොලසන් දුන්හ! ප‍්‍රීති ඝෝෂා කළහ. ඒ වන විට වේලාව දහවල් 1.15 පමණ වී තිබිණි.

‘මාත් ආවෙ ශ‍්‍රමදානෙට. මං මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ’, මැණික් ගඟ හැරවීමේ කටයුත්ත ඇරඹීමෙන් පසුව ගං ඉවුරට ගොඩවූ කලූ මහත්තයා පැවසුවේ කඳුළු සලමිනි!

මෙය ප‍්‍රබන්ධ කතාවක් නොවේ. ලියුම්කරු මෙම අත්දැකීම ලැබුවේ, 2002 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දා යාල මහ වනයේ, ගෝනගං ආරට නුදුරු මැණික් ගඟ ඉවුරේ දී ය. එනම්, කිරිඳි ඔය ව්‍යාපාරයේ ගොවීන් හාර දහසකට අධික පිරිසක් එක්ව බලහත්කාරයෙන් මැණික් ගඟ හරවන්නට ගිය දවසේ ය.

එය මෑත ඉතිහාසයේ ලංකාවේ කෙරුණු විශාලතම, ප‍්‍රබලතම ගොවි ශ‍්‍රමදානයයි. ප‍්‍රබලතම ගොවි සටනයි. සටනට මුල පිරුණේ වසර ගණනක් මුළුල්ලේ ලූණුගම්වෙහෙර ගොවීන් මුහුණ දුන් වාරි ජල ගැටළුවයි. ඔවුහු එදා යාල වනයට වැදුණේ, ‘වතුර අරන් මිසක් මැරුණත් ආපහු නම් එන්නෙ නෑ’ යයි තිර හඬින් පවසමිනි.
අවසන, රටේ පාලකයන්ට ඇස්-කන් පියා ගෙන සිටීමට නො හැකි විය!

මේ කෙටි සටහන, ඔවුන්ගේ සටන පිළිබඳවයි.

000000000000000000000000000000000000000000000000000

කිරිඳි ඔය හරස් කරමින් වර්ෂ 1985 දී ඉදි කෙරුණු ලූණුගම්වෙහෙර ජලාශය, අක්කර අඩි 1,83,795ක ජල ධාරිතාවකින් සමන්විත වූවකි. එය පිහිටියේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ය. ජලාශයෙන් දියවර සැපයෙන සමස්ත භූමිය අක්කර 25,000කි.

ඒ අනුව, එහි ‘නව ප‍්‍රදේශයෙහි’ (වම් ඉවුර) වූ ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 15,000ක් විය. දකුණු ඉවුර හෙවත් පැරණි ප‍්‍රදේශයෙහි (තිස්ස වැව, දෙබරවැව, වීරවිල වැව, පන්නෙගමුව වැව සහ යෝධ වැව යන පැරණි පංච මහා වැව් යටතේ ඇති වගා භූමිය) පිහිටි ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 10,000ක් විය. මේ සියල්ල ‘කිරිඳි ඔය ව්‍යාපාරය’ හෙවත් ‘ලූණුගම්වෙහෙර ව්‍යාපාරය’ යනුවෙන් හැඳින්විණි.

සුභවාදී අපේක්ෂාවන් කොතෙක් පැවතිය ද, ජලාශය විවෘත වූ දා පටන්ම එහි වැසි ගොවීන්ට උග‍්‍ර ජල හිඟයකට මුහුණ දීමට සිදු විය. එබැවින් අක්කර 25,000ක සමස්ත වගා භූමිය එකවර වගා කිරීමට තරම් ජල සම්පතක් ඔවුන්ට නො ලැබුණේ ය. ලූණුගම්වෙහෙර ජලාශයට අපේක්ෂා කළ තරම් ජලය නො ලැබීම, ඊට හේතුව විය.
මේ හේතුව නිසා, වාරිමාර්ග බලධාරීන්ගේ උපදෙස් පරිදි ‘තට්ටු මාරු’ හෙවත් ‘රෝස්ටර් ක‍්‍රමයකට’ සිය වගා කටයුතු මෙහෙයවා ගන්නට ගොවීන්ට සිදු විය. ඒ අනුව බොහොමයක් වගා බිම්වලට වාරි ජලය සැපයුණේ, වගා කන්න හතරකට හෝ හයකට වරක් පමණි!

එබැවින් ලූණුගම්වෙහෙර ව්‍යාපාරය පුරා උග‍්‍ර ආහාර හිඟයක් මෙන්ම දරිද්‍රතාවයක් ද පැතිර යන්නට විය. වාරි ජලය ඉල්ලා කෙරෙන ජල සටන් ද රාශියක් ඇති විණි. ජලය අරභයා ‘නව’ සහ ‘පැරණි’ ප‍්‍රදේශ අතර ද නො හොඳ නෝක්කාඩු හට ගත්තේ ය. ගොවීන් සහ වාරිමාර්ග බලධාරීන් අතර ද ගැටුම් ඇති විය. ගොවීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ, නුදුරින් ගලා බස්නා ‘මැණික් ගඟ’ හැරවීමෙන් හෝ ලූණුගම්වෙහෙරට අතිරේක ජල දහරාවක් ලබා දී, තම කුසගිනි නිවන ලෙසයි. ඔවුහු වසර 17ක් තිස්සේ වාරි ජලය සඳහා සටන් කළහ. එහෙත් රටේ පාලකකාරකාදීන් ඔවුන්ගේ ජල ප‍්‍රශ්නයට විසඳුමක් දීමට අපොහොසත් වූහ.

ලූණුගම්වෙහෙර ව්‍යාපාරයේ ඇති විශාලතම ගොවි සංවිධානය වූයේ, ‘කිරිඳි ඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සමිති සංගමයයි’. එසේම ‘ගිරුවාපත්තුව ඒකාබද්ධ ගොවි සංවිධානය’ ද පැවතිණි. ඔවුන් කොතෙක් හඬ නැගුව ද, ලූණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟය දුරුකර දීමට රටේ පාලකයන් කටයුතු නො කළහ. 2002 වර්ෂය වන විට, මෙසේ උග‍්‍ර ජල හිඟයට මුහුණ දී සිටින ගොවි පවුල් සංඛ්‍යාව 15,000ක් ලෙස හඳුනා ගෙන තිබිණි. ඔවුන්ගේ පීඩනය දිනෙන් දින මෝරා යමින් පැවතිණි.

2002 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දා, ලූණුගම්වෙහෙර ගොවීන්ගේ වසර 17ක ජල පීඩනය පුපුරා ගියේ මුළු රටම මහත් ආන්දෝලනයට පත් කරමිනි. එය, ලූණුගම්වෙහෙර ගොවීන් 4000කට අධික පිරිසක් එක්ව යාල මහ වනයට පිවිස, බලහත්කාරයෙන්ම මැණික් ගඟ හරවන්නට වේගවත් උත්සාහයක යෙදීමේ සිද්ධියයි. එය ඔවුන් වසර 17ක් තිස්සේ ඉවසලා, ඉවසලා, බැරිම තැන ගත් තීන්දුවක් ලෙස හැඳින්විණි.

එහි දී ගොවීන් ක‍්‍රියාත්මක කරන්නට ගිය සැලසුම කෙටියෙන් මෙසේ ය.

යාල ජාතික වනෝද්‍යානයේ, ගෝණගං ආර  ප‍්‍රදේශයට නුදුරු ‘දෙමෝදර’ නම් ස්ථානයකින් තාවකාලික ‘වැලි කොට්ට’ බැම්මක් තනා මැණික් ගඟ හිර කිරීම, සැලසුමෙහි මුල් අදියරයි. එතැනින් ලැබෙන ජල කඳ, අලූතින් කණින ඇළ මාර්ගයක් ඔස්සේ ‘හංගුණේ ආර’ නම් ජල මාර්ගයකට ගෙන එයි. ‘හංගුණේ ආර’, කිරිඳි ඔයට වැටෙන කුඩා අතු ගංගාවකි. හැරවෙන ජලය එයින් ලූණුගම්වෙහෙර ජලාශයට ලැබේ. ජලය ගෙන යාමේ කටයුත්ත සඳහා මිනින්දෝරු සැලසුමක් ද සකස්කර තිබිණි. මේ ආකාරයට තාවකාලික වැලි කොට්ට බැම්මක් මගින් හරවා ගැනෙන්නේ, වර්ෂා සමයේ දී මැණික් ග`ගට එකතු වන අතිරික්ත ජලය පමණි.  ඇළවල් කැණීම් ආදී සියළු කටයුතු කෙරෙන්නේ ගොවීන්ගේ දායකත්වයෙනි. ශ‍්‍රමදාන පදනමිනි.

මැණික් ග‍ඟේ එන අතිරික්ත ජලය ලූණුගම්වෙහෙරට හැරවීම පිළිබඳ ගොවීන්ගේ සැලසුම, ‘නිකම්ම පිළිසිඳුණු එකක්’ ද නො වූයේ ය. ඒ සඳහා පදනම්කර ගෙන තිබුණේ, 1999 වසරේ ජනවාරි මස 21 වැනි දා ‘කිරිඳි ඔය ව්‍යාපාර කමිටුවට’ ඉදිරිපත් වුණු යෝජනාවකි. එය ඉදිරිපත්කර ඇත්තේ, කිරිඳි ඔය වම් ඉවුරේ ගොවි නායකයෙකු වූ ඬේව්ඞ් දිසානායක මහතා (බෙරලිහෙල හින්නි මහත්තයා) විසිනි. ගව පට්ටි හිමියෙකු වූ හෙතෙම, යාල වනයේ මැණික් ගඟ ඉසව්වේ බොහෝ සැරිසැරූ කෙනෙකි. එසේම ලූණුගම්වෙහෙර ජල හිඟය නිසා පීඩා වි`දිමින් සිටි ගොවියෙකි. වනයේ සැරිසැරූ ඔහුට, මැණික් ගඟ  දෙමෝදරින් හරස් කළ හොත්, හංගුණේ ආර සහ ඌවගල් ආර ඔස්සේ ලූණුගම්වෙහෙරට ජලය ගෙනා හැකි බව ප‍්‍රත්‍යක්ෂ විය. ඉක්බිති ඔහු එය යෝජනාවක් වශයෙන් කිරිඳි ඔය ව්‍යාපාර කමිටුවට ඉදිරිපත්කර තිබිණි. ‘මැණික් ගඟ හැරවිමේ ජනතා ව්‍යාපාරය’ සිය සැලසුම සකස්කර ගත්තේ, ඬේව්ඞ් දිසානායක මහතාගේ යෝජනාව තවදුරටත් වැඩි දියුණු කිරිමෙනි.

මැණික් ගඟ හරවා ගැනීමේ ප‍්‍රයත්නය, කිසිදු දේශපාලන හෝ වෙනයම් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද්දක් නො වීය. එහි සංවිධායකයන් සහ සහභාගිවූ ගොවි සමූහයා අතර, ලංකාවේ බහුතරයක් දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් සිටි බව ඇත්ත ය. එහෙත් එහි කිසිදු දේශපාලන අරමුණක් හෝ මෙහෙයවීමක් නො තිබිණි. අනෙක, බලහත්කාරයෙන් මැණික් ගඟ හැරවීමේ කටයුත්ත සඳහා එකල රටේ පාලක පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිදු දේශපාලනඥයෙක් සහභාගි නො වීම ද කැපී පෙනුණි.

මැණික් ගඟ හැරවීමේ ප‍්‍රයත්නය සඳහා පුරෝගාමී වූයේ, ද ඊට අදාළ ගවේෂණ පවත්වා මූලික සැලසුම් සකස් කළේ ද, තිස්සමහාරාමයේ, නීතිඥ පියරත්න බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘මැණික් ගඟ හැරවීමේ ජනතා ව්‍යාපාරය’ නම් සංවිධානයයි. ග‍්‍රාම නිලධාරියෙකු වූ පී. මුතුමාල මහතා එහි ලේකම්වරයා විය. ගොවි නියෝජිතයන් වන එම්. ඞී. දයානන්ද, චාලි ජයසේකර, ජයරත්න මුතුකුමාරණ, එම්. කේ. ආරියදාස, ජයවර්ධන, යන මහත්වරුද, වරලත් ඉංජිනේරු රුවන් කාසිවත්ත, ග‍්‍රාම නිලධාරී එම්. පී. එල්. උදය කුමාර, ඒ. වික‍්‍රමසූරිය (තැපැල් මහත්තයා) ඇතුළු පිරිසක් ද එහි ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයන් අතර වූහ.

ඔවුන්ගේ ඇරයුම පරිදි, කිරි`දි ඔය ව්‍යාපාරයේ විශාලතම ගොවි සංවිධානය වන ‘කිරිඳි ඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සමිති සංගමය’ ද මැණික් ගඟ හැරවීමේ ප‍්‍රයත්නයට එක් විය. එහි සභාපති සිරිපාල ජයවීර සහ ලේකම් රංජිත් කුමාරසිංහ යන මහත්වරු ප‍්‍රමුඛ ගොවි ක‍්‍රියාකාරිකයෝ ද ‘මැණික් ගඟ හැරවීමේ ජනතා ව්‍යාපාරය’ සමග අත්වැල් බැඳ ගත්හ. සරත් චන්ද්‍රසේකර යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘ගිරුවාපත්තුව ඒකාබද්ධ ගොවි සංවිධානය’ ද මැණික් ගඟ හැරවිමේ ව්‍යාපාරයට එක් විය.

මැණික් ගඟ හැරවීම සඳහා ලැබුණු සියලූ සහභාගිත්වයන්, අවසානයේ මහා ජන සේනාවක් බවට පත් විණි. ඔවුහු 2002 වසරේ සැප්තැම්බර් 14 වැනි දා දහවල් මහ පෙරහරින් යාල වනයට පිවිසුණහ. ඒ ජන සන්නිපාතය සංඛ්‍යාවෙන් නම් 4000කට අධික ය. එය, රජවරුන්ගේ යුගයෙන් පසුව මෑත ලංකාවේ කෙරුණු විශාලතම ගොවි ශ‍්‍රමදාන ව්‍යාපාරය බව පැවසිණි. දෙමෝදර සිට නව ඇළ මාර්ගය කැපීම ඇරඹිණි.

වාරි ජල හිඟයෙන් පීඩිත ගොවීන් 4000කට අධික පිරිසක්, යාල මහ වනය මැද කඳවුරු බැඳ ගෙන මහා ශ‍්‍රමදානයක් පැවැත්වීම, රටට අමුතුම සිද්ධියක් විය. එයට ජනමාධ්‍ය මගින් ද ඉහළම ප‍්‍රචාරයක් ලැබිණි. කිසිදු දේශපාලන නායකත්වයකින් තොරව එවැන්නක් සිදු වීම, මහත් කුතුහලය දනවන්නක් ද විය. එහෙත් රටේ පාලකයෝ ඒ සම්බන්ධයෙන් පළ කළේ  ඉතා නිහඬ පිළිවෙතකි. 

ශ‍්‍රමදානය බලන්නට යාල වනයට ගියේ, එවකට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාවූ එච්. ජී. සිරිසේන මහතා පමණකි. ඔහු එහි ගොසින් ගොවීන් මුණ ගැසුණා පමණක් නොව, දකුණු පළාත් වාරිමාර්ග බලධාරීන් ගොවීන්ගේ සැලසුම අනුමත කරන්නේ නම්, ඊට පළාත් සභාවේ සහාය දෙන බව ද ප‍්‍රකාශ කළේ ය. වෙනත් කිසිදු  දේශපාලනඥයෙක් එහි පැමිණියේ නැත.

ගඟ හැරවීමේ ශ‍්‍රමදාන ව්‍යාපාරය ඇරඹියේ සැප්තැම්බර් 14 වැනි දා ය. ඉන් පසුව ඔක්තෝබර් මස 01 වැනි දා, බුත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් මැණික් ග‍ඟේ දෙමෝදරට පැමිණියහ. රජයේ නියෝගය පරිදි, ඇළ කැපීමේ ශ‍්‍රමදාන ව්‍යාපාරය තහනම් කළහ. තහනම පනවා තිබුණේ, එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධුරය දැරූ, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාගේ නියෝගයකට අනුව ය. ගොවි ශ‍්‍රමදානය ඔස්සේ ඒ වන විටත්, යෝජිත ඇළේ කිලෝමීටර් දෙකකට වැඩි කොටසක් සහමුලින්ම කපා හමාරකර තිබිණි. සාකච්ඡා වට කිහිපයක් පැවතිය ද, පොලිස් තහනම ලිහිල් නො වීය. ගොවීන්ට ආපසු ගම්බිමි බලා යන්නට සිදු විය.
රජය මැණික් ගඟ හැරවීමේ කටයුත්ත තහනම් කිරීම, දහස් ගණන් ගොවීන්ගේ කෝපයට හේතු විය. එහෙත් ඔවුහු ගැටුම් ඇතිකර ගන්නට නො ගියහ.

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් කියැවුණේ, ලූණුගම්වෙහෙර ගොවීන්ට රජය මගින්ම නව ජලාශයක් බඳවා, මැණික් ග‍ඟේ ජලය ලබා දෙන බවයි. අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා එකල ගොවීන් සමග සාකච්ඡුා කරමින් එය අවධාරණය කළේ ය. එතැනින් නො නැවතුණු ඔහු, නව ජලාශ ව්‍යාපෘතියේ මූලික සැලසුම් කටයුතු  ප‍්‍රවීණ වාරි ඉංජිනේරුවරයෙකු වන කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාට පැවරුවේ ය.

ඒ අනුව, මැණික් ග‍ඟේ ‘වෙහෙරගල‘ නමින් නව ජලාශයක් ඉදි කිරීමටත්, ඇළ මාර්ගයක් ඔස්සේ එහි ජලය ලූණුගම්වෙහෙර ජලාශයට ගෙන යන්නටත් සැලසුම් සකස් කෙරිණි. එහි දී ද භාවිත වන්නේ, ගොවීන්ගේ ප‍්‍රයත්නයේ දී සැලසුම් කළ ඇළ මාර්ග රේඛාවයි. එසේම ‘හංගුණේ ආර’ යි. ඉදි කිරීම් ලහි ලහියේ ක‍්‍රියාත්මක කෙරිණි. නව ‘වෙහෙරගල ජලාශය‘ 2005 වර්ෂයේ දී විවෘත විය.

ලියුම්කරු, වර්ෂ 1997 පටන්ම ලූණුගම්වෙහෙර ගොවීන්ගේ ජල අරගලය සමීපයෙන් සිටි මාධ්‍යවේදියෙකි. 2002 වසරේ ඔක්තෝබර් 01 වැනි දා, ගඟ හැරවීමේ ශ‍්‍රමදානය තහනම් කරන අවස්ථාව වන විට ද ඔහු සිටියේ එහි ගොවීන් සමග ය. ඔහු මේ සම්බන්ධයෙන් ලියූ විශේෂාංග ලිපි රාශියක් එකල ‘ලක්බිම ඉරිදා සංග‍්‍රහයෙහි’ පළ විය.

වෙහෙරගල ජලාශය ගැන කතා කරන, එය නරඹන බොහෝ දෙනා වර්තමානයෙහි මහත් සතුටට පත් වෙති. එහි සුන්දරත්වයෙන් වශී වෙති. එසේ වුව ද, මේ ජලාශය නිකම්ම පහළ වූවක් නොවේ. එය වසර 17ක් මුළුල්ලේ ලූණුගම්වෙහෙර ගොවීන් මහත්  සමගියෙන් ගෙන ගිය දැවැන්ත ජල අරගලයෙහි නිසැක ප‍්‍රතිඵලයයි. ඇත්තටම එය පිරී ඇත්තේ, ඔවුන්ගේ දුක් කඳුළුවලිනි!

වෙහෙරගල ජලාශය ඔස්සේ මැණික් ග‍ඟේ ජලය ලැබීම නිසා, අද (2016) ලූණුගම්වෙහෙර ගොවීන්ට වාරි ජල ප‍්‍රශ්න නැත. වී වගාවට ‘තට්ටු මාරු’ හෝ ‘රෝස්ටර් ක‍්‍රම’ නැත. ඔවුහු අද යල-මහ දෙකන්නය පමණක් නොව, අතරමැදි කන්නයක්  ඔස්සේ ‘මුං ඇට’ පවා වගා කරමින් සිටිති.
පින්තූරය-අන්තර්ජාලයෙනි.








Wednesday, 29 March 2017

බෝ නො වන රෝග පාලනයට දේශීය පාරම්පරික රතු සහල්


 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජර්මනියේ පිහිටි
‘Lambert Academic Publishing’ නමැති ජාත්‍යන්තර ප‍්‍රකාශන ආයතනය, 2016 ජූලි මස 19 වැනි දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කදිම පර්යේෂණ ග‍්‍රන්ථයක් මුද්‍රණයෙන් නිකුත් කළේ ය. පොත් අලෙවිය පිළිබඳව ලොව සුප‍්‍රකට
‘Amazon’  වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට ඉංග‍්‍රීසි බසින් ලියැවුණු නව ග‍්‍රන්ථය,‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් වෙයි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වෙති.
 
නව ග‍්‍රන්ථය පිටු 392ක් පුරා දිවෙන්නකි. එහි සාකච්ඡුාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ඔවුන් කළ පර්යේෂණයක අපූර්ව තොරතුරු ය.
 
 
ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා
ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, නව ග‍්‍රන්ථය මගින් සවිස්තරාත්මකව අවධාරණයකර තිබේ.
 
දියවැඩියාව පමණක් නොවේ. දේශීය පාරම්පරික රතු සහල්, එයින් හට ගන්නා ඇස් නො පෙනී යාම, තුවාල සුව නොවීම, හෘද රෝග තත්ත්වයන්ට මග පෑදීම වැනි අතුරු ආබාධ පවා පාලනය සහ මැඩ පැවැත්වීමේ ගුණයෙන් ද පිරිපුන් බව නව ග‍්‍රන්ථය කියයි. කතුවරුන් එය පළකර ඇත්තේ, වසර 2000 දශකයේ පටන් ඔවුන් පවත්වා ගෙන එන පර්යේෂණ මාලාවක් පදනම්කර ගනිමිනි.
 

‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ කෘතියේ කතුවරුන් අතරින්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතා, කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. ආචාර්ය කාංචනා අබේසේකර මෙනවිය  ද, කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්‍යාඥවරියකි. දේශීය පාරම්පරික සහල් වර්ගවල ගුණාංග සම්බන්ධයෙන් ඔවුන් කළ පර්යේෂණයට, පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ ද, ඇමරිකාවේ අකන්සාස් විශ්වවිද්‍යාලයේ ද විද්වත් සහාය ලැබිණි. ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සහ ජාතික විද්‍යා පදනමෙන් පර්යේෂණ මාලාවට අරමුදල් සැපයිණි.
 
ආචාර්ය කාංචනා අබේසේකර මෙනවිය
ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ගවල ගුණාංග සම්බන්ධයෙන්, ඇතැම් කාරණා හෙළිදරව්කර ගෙන ඇත්තේ ප‍්‍රථම වතාවට ය. එසේම, ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පතින් නිපැයෙන රතු සහලේ බතට, ‘බෝ නො වන රෝග’ පාලනය සහ මැඩ පැවැත්වීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව සොයා ගෙන ඇත්තේ ද ලොව මුල් වරට ය. එය අලූත්ම සොයා ගැනීමකි.
 
කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් කළ නව සොයා ගැනීමෙන් අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්, ‘නිවුඩ්ඩ’  (Bran/කුරුට්ට) සහිත දේශීය පාරම්පරික රතු සහල් වර්ගවලට  උසස් හැකියාවක් ඇති බවයි! ඒවා අතර, ‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික සහල් වර්ගවලට ඉහළම තැනක් හිමි වේ. මේ බව අනාවරණයකර ගෙන ඇත්තේ, දේශීය පාරම්පරික රතු සහල්වල නිවුඞ්ඩෙන් ලබා ගත් නිස්සාරණ පර්යේෂණයට ලක් කිරීමෙනි.
 
සිය පර්යේෂණ සඳහා ඔවුන් මිනිස් රුධිරය, මිනිස් ජීව ෙසෙල, සහ පර්යේෂණ මීයන් ද යොදා ගෙන තිබිණි. සියල්ල විද්‍යාගාර පර්යේෂණ විය. දේශීය පාරම්පරික සහලින් හඳුනා ගත් බෝ නො වන රෝග පාලන සංයෝග, ‘ඖෂධ’ නිපදවීම දක්වා වැඩි දියුණු කළ හැකි බව ද පර්යේෂකයෝ පවසති.
 
1960 දශකයේ පටන් අපේ රටේ ක‍්‍රියාත්මක කෙරුණේ ‘හරිත විප්ලව අච්චුවේ’ නවීන ගොවිතැනකි. නව වැඩි දියුණු කළ දෙමුහුන් වී වර්ග, කෘතිම කෘෂි රසායන (කෘතිම පොහොර සහ කෘමි සහ වල් මර්දන රසායන) මෙන්ම යාන්ත‍්‍රික කෘෂි මෙවලම් (ට‍්‍රැක්ටර් ආදී) ද ඊට ඇතුළත් විය. ඒ සමගම, දේශීය පාම්පරික වී ගොවිතැන සහ අනෙකුත් බව බෝග ද, පැරණි කෘෂි තාක්ෂණික දැනුම ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. ඒ වෙනුවට වස-විස සපිරි ‘නවීන ගොවිතැන’ ආදේශ විය.
 
ගෙවී යමින් පවතිනුයේ 2016 වර්ෂයයි. හරිත විප්ලවයට දැන් වසර 56කි. අද අපට ඉතිරිව ඇත්තේ කුමක් ද, හරි හමන් පෝෂණයක් නො ලබන, බෝ නො වන රෝගවලින් පීඩා විඳිමින් අසරණව, අකාලයේ මරණයකරා යමින් සිටින රටක් නොවේ ද? දියවැඩියාව, හෘද රෝග, අධික රධිර පීඩනය, පිළිකා සහ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ආදී අයහපත් තත්ත්වයන් දැන් සුලභවි තිබේ!
 
දියවැඩියාව
දියවැඩියාව යනු, මනුෂ්‍ය රුධිරයේ ඇති සීනි (ග්ලූකෝස්) ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස (අවශ්‍ය තරමට වඩා) ඉහළ යාමෙන් ඇති වන රෝගී තත්ත්වයයි. එය ඉතා බිහිසුණු රෝගයකි. ඉන් ශරීරයේ  ඕනෑම ඉන්ද්‍රිය පද්ධතියකට අහිතකර බලපෑම් එල්ලවිය හැකි ය. එයින් මරණයකරා මාවතක් ද විවර වීමට පුළුවන. ඇස් පෙනීමේ දුර්වලතා (දෘෂ්ඨි ආබාධ), වකුගඩු අකර්මණ්‍ය වීම, හෘද්‍යාබාධ, ස්නායු ආබාධ, සහ අංශභාගය වැනි බෝ නො වන රෝග තත්ත්වයන් එයින් ඇති වීමට පුළුවන. තුවාල සුව නො වීමේ තත්ත්වයන් ද ඇති විය හැකි ය. එබැවින් දියවැඩියාව ලෝකයේ මෙන්ම ලංකාවේ ද විශාල සෞඛ්‍ය ගැටලූවකි.
 
ලෝක මට්ටමෙන් ගත් කල, 2000 වසර වන විට වාර්තාවූ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව, සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 2.8කි. එනම් මිලියන 171කි. 2030 වසර වන විට එය මිලියන 366ක් දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයන් විසින් ඇස්තමේන්තුකර තිබේ. ඔවුන් පළකර ඇති අලූත්ම තොරතුරු අනුව, දියවැඩියාවට ගොදුරුවූ පිරිස අතරින් සියයට 80ක්ම වාර්තා වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලිනි. 2014 වසරේ දී, ලෝක මට්ටමෙන් වාර්තාවූ දියවැඩියා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව මිලියන 4.9කි. ‘IDF DIABETES  ATLAS-Sixth edition’ නමැති ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ දැක්වෙන අන්දමට, 2014 වසරේ දී ලෝකයේ සෑම තත්පර හතකටම එක් අයෙකු බැගින් දියවැඩියාවෙන් මරණයට පත් වෙමින් සිටියහ!
 
චීනය, ඉන්දියාව, ඇමරිකාව, රුසියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ජපානය සහ බංග්ලාදේශය ලොව දියවැඩියාව බහුලව පවතින රටවල් ලෙස සැලකේ. එසේම දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින රටවල් අතරින් දෙවැනි තැන ලැබී ඇත්තේ ශ‍්‍රී ලංකාවට ය!
 
2016 වසරේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පණිවුඩයක්  නිකුත් කළ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉතා බරපතල කාරණයක් අවධාරණය කළේ ය. ලංකාවේ සමස්ත ජනගහණයෙන් ද විශාල පිරිසකට දියවැඩියා රෝගය වැළඳී ඇති බව, ඒ බරපතල කාරණයයි. අපේ රටේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2014 වසරේ නිකුත් කළ ‘National Survey on self-reported Health in Sri Lanka’ නමැති සමීක්ෂණ වාර්තාවට අනුව, ලංකාවේ ජනගහණයෙන් සියයට 17.8ක් නිදන්ගත රෝගවලින් පෙළෙති. ඉන් සියයට 30.4ක්ම දියවැඩියා රෝගීන් වේ.
 
දියවැඩියාව මුළු රටම ගිලගනිමින් සිටින බව ඉන් පැහැදිලි වේ. එය බරපතල ප‍්‍රශ්නයකි.
 
පිළිකා රෝග
පිළිකා වූ කලී, ලොව අතිශයින්ම බිහිසුණු මාරාන්තික රෝග තත්ත්වයකි.
zAmerican Cancer Society’ ආයතනය අන්තර්ජාලයට නිකුත් කළ තොරතුරු අනුව, 2012 වසරේ  ලොව වාර්තා වූ නව පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 14.1කි. රෝගයෙන් මියගිය සංඛ්‍යාව මිලියන 8.2කි. ඔවුන් ඇස්තමේන්තු කරන ආකාරයට, 2030 වසර වන විට ලෝකයේ නව පිළිකා රෝගීන් සංඛ්‍යාව හෙවත්, අලූතින් හඳුනා ගන්නා පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 21.7ක් වනු ඇත. මරණ සංඛ්‍යාව මිලියන 13ක් වනු ඇත. පිළිකා රෝගයට ගොදුරු වන ජන සංඛ්‍යාව වසරින් වසර වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ඉන් පැහැදිලි වේ. ලෝකයට එය බරපතල ප‍්‍රශ්නයකි.
 
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ‘පිළිකාව’ බරපතල ගැටලූවකි. සෞඛ්‍ය අමාත්‍යංශය 2013 වසරේ නිකුත් කළ zAnnual  Health BulletinZ වාර්තාවට අනුව, ලංකාවේ පිළිකා රෝග ව්‍යාප්තිය ද අතිශයින්ම බරපතල ය.
 
එහි සඳහන් වන අන්දමට, 1985 වසරේ වාර්තාවූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 5012කි. එනම් එවකට රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 31.6කි. 2008 වසර වන විට එය රෝගීන් 16,511ක් දක්වා ඉහළ ගියේ ය. එය රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 81.6කි. 2009 වසරේ දී රජයේ රෝහල්වල අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 20,538ක් විය. 2013 වසර වන විට එය 25,515ක් දක්වා ඉහළ ගියේ ය.
 
මින් පෙනී යන්නේ පිළිකා රෝගය ලංකාව ද ගිල ගනිමින් සිටින බව ය.
 
ලෝක මට්ටමෙන් ගත් කල, ‘පෙනහළු පිළිකා’ බරපතලම ප‍්‍රශ්නයකි. එය පිළිකා රෝගය හේතුවෙන් සිදු වන මරණ අතර වැඩිම ප‍්‍රතිශතය හිමිකර ගනියි. ගර්භාෂ පිළිිකා ද ලොව කාන්තාවන් මුහුණ දෙන බරපතල ප‍්‍රශ්නයකි. ලංකාවේ ද පෙනහළු, ගැබ්ගෙල, මුඛ, පියයුරු, බඩවැල්, ගුද මාර්ගය සහ මොළය ආශ‍්‍රිත පිළිකා බහුල වෙමින් තිබේ. ලේ පිළිකා හෙවත් ‘ලියුකේමියා’ තත්ත්වයන් ගැන ද දැන් නිතර අසන්නට ලැබේ.
 
එබැවින් කාර්මික තාක්ෂණ ආයතනය දේශීය පාරම්පරික සහලේ ඖෂධීය සහ පෝෂණීය ගුණ සම්බන්ධයෙන් කළ පර්යේෂණ මාලාව රටට ඉතාමත් වැදගත් වේ. බෝ නො වන රෝගවලින් මිදෙන්නට එයින් නව මාවතක් විවෘත වීම ඊට හේතුවයි. වස විසෙන් මිදී, මුළු රටම යළි දේශීය පාරම්පරික වී ගොවිතැනත්, ඉන් නිපැයෙන බතත්,  වැළ`දගත යුතුය යන කාරණය ඔවුන්ගේ පර්යේෂණ ඔස්සේ විවර වන නව මාවතයි. එහි ගමන් කරන අයට, ශරීර පෝෂණ මෙන්ම නිරෝගීභාවය ද නිතැතින්ම මුණ ගැසෙනු ඇත්තේ ය!
 
කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණයේ දී සහල් වර්ගවල ‘නිවුඞ්ඩෙහි’ (කුරුට්ට/Bran) ඇති ගුණ පිළිබඳ සොයා බැලිණි. මේ සඳහා, දැනට භාවිතයේ පවතින සහල් වර්ග මෙන්ම දේශීය පාරම්පරික සහල් වර්ග ඇතුළු සහල් ප‍්‍රභේද 40ක් නියැදියක් වශයෙන් විශ්ලේෂණය කෙරිණි. ඉන් අනාවරණය වූයේ පොදුවේ රතු සහල්වල නිවුඞ්ඩෙන් ලබා ගත් නිස්සාරණවල, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණ (‘ඇල්ෆා ඇමයිලේස්’ එන්සයිමයේ ක‍්‍රියාකාරිත්වය  පාලනය කිරීමේ) බහුලව තිබෙන බවයි. එසේම දේශීය පාරම්පරික සහල්වල එම ගුණය ඉතා විශිෂ්ඨ බව ද හෙළි විය.
ඒ අතරින් සුදු හීනැටි, ගොඩ හීනැටි, දික් වී, සහ මසුරන් යන සහල්වල, රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය සියයට 80ක් පමණ වෙතියි අනාවරණය විය. ඒවායින් ද හොඳම සහල් වර්ගය වූයේ ‘මසුරන්’ ය.
 
පිළිකා රෝග පර්යේෂණය 
පිළිකා රෝග පාලනය සහ මැඩ පැවැත්වීම අරභයා පර්යේෂණය පැවැත් වූයේ පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ දී ය.
එහි දී සුදු හීනැටි, මසුරන්, ගොඩ හීනැටි, සහ දික් වී යන දේශීය පාරම්පරික සහල්වල ඇති ගුණ පිළිබඳ සලකා බලන ලදී.  එසේම ඒවාට පිළිකා රෝග මර්දනය සඳහා කොපමණ හැකියාවක් ඇති දැයි සොයා බලන්නට කටයුතු කෙරිණි.
 
එය සිදු වූයේ, මිනිස් පිළිකා ‍ෙසෙල පර්යේෂණාගාරයේ දී ගුණනය කිරීම් ඔස්සේ ය. ඉන් හෙළි වූයේ දේශීය පාරම්පරික සහල්වල පිළිකා ෙසෙල වර්ධනය අඩාල කිරීමේ ගුණ බහුලව පවතින බවයි. එසේම පිළිකා රෝග වර්ධනයට තුඩු දෙන එන්සයිමවල ක‍්‍රියාකාරිත්වය අඩු කරන සංයෝග ද ඒවායෙහි ඇති බව සොයා ගැනුණි.
 
පර්යේෂණයේ තවත් අදියරක් ක‍්‍රියාත්මක වූයේ ඇමරිකාවේ ‘අකන්සාස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ’ දී ය. එහි දී කළ පර්යේෂණවලින් පිළිකා රෝග මර්දනය සම්බන්ධව තවත් කරුණු රැුසක්ම හෙළි විණි. ඒ අනුව, ආහාර මාර්ගයේ පිළිකා, ආමාශයේ පිළිකා සහ රුධිරයේ පිළිකා ආදිය මර්දනය සඳහා, සුදු හීනැටි, මසුරන්, ගොඩ හීනැටි, සහ දික් වී යන දේශීය පාරම්පරික සහල් වර්ග ගුණදායක බව අනාවරණය විය.

රට තුළ බහුලව වගා කරන, එමෙන්ම මහජනයා බහුලව ආහාරයට ගන්නා නව වැඩිදියුණු කළ සුදු සහල් වර්ගවල ඖෂධීය සහ පෝෂණීය ගුණ බෙහෙවින් අඩු බව ද පර්යේෂණයෙන් හෙළි විය. එසේම රතු සහල් වුව, නිවුඞ්ඩ ඉවත්කර ආහාරයට ගැනීමෙන් කිසිදු ගුණයක් නො ලැබෙන බව ද අනාවරණය විය.

මෙය ඉතා වටිනා පර්යේෂණ ක‍්‍රියාවලියකි. දේශීය පාරම්පරික සහල් වර්ගවල ඇති ඖෂධීය ගුණ පිළිබ`දව, අපේ ගොවීන්ට මෙන්ම බත් කන මහජනයාට ද උසස් මට්ටමේ විද්‍යාත්මක තක්සේරුවක් ලැබීම ඊට හේතුවයි. ඔවුන් කළ සොයා ගැනීම්, ‘දේශීය පාරම්පරික වී ගොවිතැන නිස්සාර යැයි’ ප‍්‍රචලිත කෙරුණු හරිත විප්ලව මතවාදයන්ට දුන් අතුල් පහරක් වැන්න!
 
දේශීය පාරම්පරික සහලෙහි ඖෂධීය සහ පෝෂණීය ගුණ බහුලව ඇතැයි යන්න, ඉතා පැරණි කතිකාවකි. දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රියාවලියේ දී අනාදිමත් කාලයක් මුළුල්ලේ ඒවා භාවිත කෙරිණි. එසේම ජන භාවිතාවේ දී ද ඒවා ඉහළින්ම යොදා ගැනුණි. දේශීය පාරම්පරික සහල් අරභයා මහජනතාව සතුව පැවති දැනුම් සම්භාරය ද ඉතා විශාල ය. එසේ වුව ද, දේශීය පාරම්පරික සහල් සම්බන්ධයෙන් පුළුල් නවීන විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් කෙරුණේ මුල් වතාවට ය. ඉතින් කාර්මික තාක්ෂණ ආයතනය කළ හැදෑරීම් සියල්ල ඉතා ප‍්‍රශංසනීය වේ.
2016/10/03.