Followers

Wednesday, 30 October 2019

කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි

පනාගොඩ ගොවියෙක් කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි







(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) 
(පින්තූර-හෝමාගම නන්දන රණසිංහ)
ස්වාභාවිකව මුහුන් වූ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් ඇසුරෙන් නව වී ප‍්‍රභේදයක් නිපදවීමට හෝමාගම  පනාගොඩ ප‍්‍රදේශයේ ගොවි මහතෙකු දැරූ උත්සාහයක් සාර්ථක වී තිබේ. ඔහු නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නම්කර ඇත.

මාස තුනහමාරක් හෝ හතරක කාලයකින් ඵල දරන නව වී ප‍්‍රභේදය, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, පර්යේෂණ කටයුත්ත සඳහා සහාය දුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය පවසයි. එය රතු සහලක් ගෙන දෙන වී ප‍්‍රභේදයකි.
නව වී ප‍්‍රභේදය නිපදවා ඇත්තේ හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ පදිංචිව සිටින එම්. ඞී. පියසේන නම්  ගොවි ක‍්‍රියාකාරිකයා විසිනි. 

දේශීය පාරම්පරික වී වර්ග වගා කළ ගොවි පවුලකින් බිහිවුණු හෙතෙම දැනුදු පැරණි වී ප‍්‍රභේද විස්සක් පමණ වගා කරයි. ඔහු ඒ සියල්ල කරන්නේ ‘කාබනික පොහොර’ භාවිතාවෙනි. සිය නිෂ්පාදන නිවසෙහි සිටම අලෙවි කරන පියසේන, ඒ සඳහා ‘තෙදබල පාරම්පරික සහල්’ නමින් කුඩා ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යයි. ඔහුගේ වී වගා භූමිය අක්කර දාහතක් වන අතර, එය අයත් වන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරට ය.

‘ගුරුපියා’ සහලෙහි පෝෂණීය සහ ඖෂධීය ගුණ සම්බන්ධයෙන් විශ්ලේෂණ කිරීම ආදී කටයුතුවලට සහාය වී ඇත්තේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරයි. ඇය  සමග ආචාර්ය ප‍්‍රශාන්ත මලවිආරච්චි ද, පර්යේෂණයේ ශිෂ්‍යා පී. ඒ. නදිනි තුෂාරා ද මෙම කටයුත්තට එක්ව ඇත.
ආචාර්ය පහන් ගොඩකුඹුර පවසන අන්දමට, ‘ගුරුපියා’ වියෙහි සහලේ බත, හෘද්‍යාබාධවලට තුඩු දෙන ‘කොලෙස්ටරෝල්’ පාලනය කිරීමේ ඉහළම ගුණයෙන් යුක්ත ය.

‘මෙදා සැරේ මාස් කන්නයටත් මම අනෙකුත් වී වර්ග සමග ‘ගුරුපියාත්’ වපුරනවා’, පියසේන ගොවියා ‘අරුණට’ පැවසී ය.

(මෙය 2019/10/30 දින ‘අරුණ’ පුවත්පතේ පළ විය.)


Thursday, 24 October 2019

මා වී බතේ අරුමය සහ තවත් කතා

මා වී බතේ අරුමය සහ තවත් කතා


ලිංගික ශක්තිය වඩවන
මා වී බතේ අරුමය සහ තවත් කතා

 





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පුරාණයේ මාතර නිල්වලා ගං නිම්නයේ කෙරුණු ‘මා වී’ ගොවිතැන  හා බැඳුණු ඇතැම් සිරිත් විරිත් මහත් කුතුහලය දනවන්නේ ය. ඉන් එක් සිරිතකට අනුව, ‘මා වී’ වගා කරන කලාපයේ ගොවි තරුණයෙකුට ‘හිරයක්’ ගේන්නේ (විවාහයට තරුණියක් සොයන්නේ) ද, මා වී වගා කරන පවුලකිනි. එසේ කරන්නේ ඇයි ද? කියා විමසන කෙනෙකුට ලැබෙන්නේ බොහොම ‘කෘෂිකාර්මික’ පිළිතුරකි!
 
‘මේකනේ, ‘මා වී’ වගා කරන ගොවි ගෙදරක තියෙන වැඩ සම්භාරය ගැන දන්නේ ‘මා වී’ වගා කරන පවුල්වල අය විතරයි. ඉතින් වෙන තැනකින් කෙල්ලක් ගෙනාවොත් එයා ඔය ‘මා වී තෝත්තරේ’ දන්නෙ නෑනේ. එතකොට වැඩ ටික අවුල් වෙනවා. මා වී ගැන දන්න ගෙදරකින් කෙල්ලන් සොයන්නේ ඒකයි’ යනුවෙන් එහි සඳහන් වෙනු ඇත!
මා වී සම්බන්ධයෙන් ගත් කල, මේ කාරණයත් බොරුවක් නො වේ. එහෙත් ඇත්ත, එළිපිට කතා නො කරන වෙනත් කාරණයකි. එය රහසක් බඳු ය.
 

නිල්වලා නිම්න වැසි ගොවීන් දැන් නම් වගා කරන්නේ ‘මහ  මාවී’ නමැති දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයයි. ඊට ඉහත නම් ඔවුහු ‘හිවල් මාවී’ වගා කළහ. පැරණි නිල්වලා නිම්නය නිරන්තරයෙන් ගංවතුර උවදුරට හසු වන බැවින් ගොවීහු මා වීවලට හුරු පුරුදුව සිටියහ. මා වී සහලෙහි බත, පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද පොහොනේ ය. එබැවින් එකල ගොවීහු සිය වගා කටයුතුවල දී ‘බුද්ධ භෝගය’ යයි ගෞරවයෙන් සැලකුවේ ද ‘මා වීවලට’ ය.
 

අතීතයේ දී  අපේ රටේ දේශීය පාරම්පරික ‘මා වී’ වර්ග 28ක් පමණ පැවතිණි. ඒවා වගා කෙරුණේ රටේ තෙත් කලාපීය ප‍්‍රදේශවල ය. විශේෂයෙන් ම, නිල්වලා, ගිං, කළු, කැලණි සහ අත්තනගලූ ඔය ආදී තෙත් කලාපීය ගංගා නිම්නවල ය.
 

ගොයම් ගසක් හැටියට ‘මා වී’ ශාකයේ ගති සොබාවන් විශ්මයජනක ය. එය ගංවතුර හෝ අධික ජල තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙයි. එය ජලයට කුණු වෙන්නේ නැත. පීදුණු ගොයම ගංවතුරට හසු වුව ද, වී කරල ජලයෙන් ඉහළට ඇදී එයි. එබැවින් ගොවීන් කියන්නේ ‘ඔරුවෙන් ගිහින් හෝ ගොයම් කපන්නට හැකි’ බව ය.
 

පාරම්පරික මා වී ගොයමෙහි ඵල දරන වයස මාස හයකි. එහි ගොයම් ගස අඩි පහක් හයක් පමණ දිග ය. පුරුක් සහිත ය. මාස හයට එහි පුරුක් හතක්  වැඩෙයි. ගොයම ඵල දරා වී කරල් හැදෙන්නේ හත් වැනි පුරුකේ ය. කුමන මාසයක වී වැපිරුව ද, ගොයම පීදී කරල් හැදෙන්නේ දෙසැම්බරයේ ය. ලෝකයේ වෙනත් වී වර්ග සෑම එකකම පාහේ ගොයම් පැලයක් ලබා ගැනීමට ‘වී ඇටයක්’ සිටුවිය යුතු ය. එහෙත්  ‘මාවී’ එසේ නොවේ. මා වී ගොයම් ගසක පුරුක් වෙනම කපා සිට වූ විට, එයින් නව ගොයම් ගසක් හට ගනියි!
 

මා වී සහලේ බත බොහොම රස ය. මෘදු ය. යමෙකුට එය හිතූ තරම් අනුභව කරන්නට ද නුපුළුවන. බත් ටිකක් කෑ විට මහත් බර ගතියක් දැනෙයි. එසේ වන්නේ එහි ඉහළ පෝෂණ ගුණය නිසා ය. මා වී සහලේ බත පිසෙන ප‍්‍රමාණය ද වැඩි ය. මා වී බත, මිනිස් ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යයි. දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ ආදියෙහි සහ ජන වහරෙහි දැක්වෙන අන්දමට, මා වී වු කලී, ‘කාය ශක්තිය වර්ධනය කෙරෙන ගුණයෙන් යුත්’ සහලකි. එනම්, ‘වාජීකරණ ගුණයෙන් යුත්’ බතක් උපදින සහලකි. එහි ඇති ප්‍රෝටීන ප‍්‍රතිශතය සියයට 7.80ක් තරම් ඉහළ මට්ටමක ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මා වී සහලේ බත වැළඳීමෙන් ‘ලිංගික ශක්තිය වර්ධනය වන බව’ නිල්වලා ගං නිම්නවාසී ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී ගොවිතැන් කරන පවුලක තරුණයෙකුට, මා වී ගොවිතැන් කරන පවුලක කෙල්ලෙක් ම කාර බැන්ද වීමේ සිරිත සම්බන්ධයෙන් එළිපිට කතා නො කරන රහස එළියට එන්නේ මෙතැන දී ය. මා වී බත වළඳන පිරිමින් ජවාධිකයන් ය. එවැනි පිරිමින්ගේ ‘ගති සොබාවන්ට’ ඔරොත්තු දෙන්නට නම්, තරුණියකට වුව ‘මා වී’ බතේ හයිය තිබිය යුතු ය. මා වී වගා කරන ගොවි පවුලක කොල්ලෙකුට, එවන් ගොවි පවුලකින් ම කෙල්ලෙකු කැන්දා ගෙන ඒමේ රහස එයයි! 
 

මාතර නිල්වලා නිම්න වාසී ගොවීහු මා වී සහලේ කුරුට්ටෙන් ‘කුඩු පිට්ටු’ නම් ආහාරයක් සකසා ගනිති.  එය ‘ඇඟිල්ලේ ගා ගෙන කන’ දියර පිට්ටුවකි. ‘අපි ඉතින් කුඩු පිට්ටු නම් හාමුදුරුවරුන්ට වළඳවන්නේ නෑ. ඒවා වැඩිපුර කන්න කියන්නේ අලූත බැඳපු අයටයි’ යයි ඔවුහු කට කොනෙන් හිනැහෙමින් කියති.
 

වාජීකරණ ඔසු ගුණය පමණක් නොවේ. ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, පසුගිය කාලයේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කළ පර්යේෂණ මගින් හෙළි විය. ඒ පිළිබඳ තොරතුරු, ජර්මනියේ දී ඉංග‍්‍රීසි බසින් පළ කෙරුණු ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් පර්යේෂණ ග‍්‍රන්ථය ඔස්සේ අනාවරණය කෙරිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වූහ.
 

එහි සාකච්ඡාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ‘කාර්මික තාක්ෂණ ආයතනය’ කළ පර්යේෂණ මාලාවේ අපූර්ව තොරතුරු ය. ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, එයින් අනාවරණය විය.
 

දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා ද පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයෙන් සොයා ගැනුණි.
 

අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ’ : (Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික රතු සහල් වර්ගවලට, දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග ද රුධිරයේ සීනි පාලනය සම්බන්ධයෙන් උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.
 

ශරීර පෝෂණය යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සහ බෝ නො වන රෝගවලින් මිදුණු සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම ද යහපත් ලිංගික ජීවිතයකට හේතු කාරක වෙයි. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක එවන් ගුණාංග යහමින් තිබේ. ‘කුරුළු තුඩ’ නම් වියෙහි සහල (බත), කුඩා දරුවන්ගේ පෝෂණය කෙරෙහි දැඩිව බලපාන බව ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී  පමණක් නොවේ. මිනිසුන්ගේ ලිංගික ශක්තිය වඩවන සහල් වර්ග ගණනාවක් ම    දේශීය පාරම්පරික සහල් වර්ග අතර එයි. ‘චරක’, ‘සුශ‍්‍රැත’ සහ ‘සාරාර්ථ සංග‍්‍රහය’ ආදී ආයුර්වේද වෛද්‍ය ග‍්‍රන්ථවල ද ඒවා ගැන සඳහන්ව තිබේ. මේ සහල් වර්ගවල ප්‍රෝටීන ප‍්‍රතිශතය ඉහළ ය. සුවඳැල්, කුරුළු තුඩ, රත් හැල්, කළු හීනැටි, මුතු මාණික්කන්, පොලයල් ආදිය ඒවා අතර වෙයි. මුතු මාණික්කන් සහලේ බත, කාන්තාවන්ගේ සමේ වර්ණය පැහැපත් කරවන බව ප‍්‍රකට ය. කෝට්ටේ රජ වාසලේ බිසෝවරුන්ට ආහාර පිණිස මුතුමාණික්කන් සහල් රැස්කර තැබූ බව කියැවේ. පොලයල් සහලේ බත, මහළු විය එළඹෙන විට මතුවන ශරීර ලක්ෂණ යටපත් කරන බව පැරණි ව්‍යවහාරයෙහි සඳහන් වේ.
 

අපේ රටේ දැනට කෙරෙන්නේ, මේවා වගාකර ගෙන  ‘බත්’ වශයෙන් අනුභව කිරීම පමණකි. එහෙත් පාරම්පරික සහලේ ඇති ‘වාජීකරණ’ ගුණයන් පදනම්කර ගනිමින් යම් ‘ඔසුවක්’ හෝ ‘ශක්තිජනක’ ආහාරයක් නිපදවන්නට හැකි නම් එය මහත් සේ ප‍්‍රචලිත වෙනවා සිකුරු ය!  එසේම, කාන්තා රූ සිරිය වඩවන යම් නිපැයුමක් ද කරන්නට පුළුවන!
(2019/10/20-සතිඅග අරුණ -පුවත්පතේ පළවුණු ලිපියකි)                                                         
(උපුටා ගැනීම-walaspathiවලස්පතිගේ අඩවියෙනි)

Saturday, 19 October 2019

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නාමකරණය කෙරේ

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණය කෙරේ

 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණයකර, ගොවීන්ට හඳුන්වා දීමේ විද්වත් සභාවක් ඊයේ (ඔක්තෝබර් 17), කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
 

විද්වත් සභාව සංවිධානයකර තිබුණේ, හෝමාගම, කටුවාන පාරේ ‘පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැුකීමේ ව්‍යාපාරය’ වෙනුවෙන් පී. ගුරුසිංහ මහතා විසිනි.
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීමේ ක්ෂේත‍්‍රයේ ගොවි සංවිධාන නියෝජනය කරමින්, උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක මහාමාන්කඩවල පියරතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, මතුගම සෙනවිරුවන්, කවුඩුල්ලේ ජයතිස්ස ඇතුළු ගොවි ක‍්‍රියාකාරිකයන් ද, කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර, උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. එල්. ඞී. සමරසිංහ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. ඒ. ඞී. ප‍්‍රශාන්ත, ආචාර්ය පහන් ගොඩකුඹුර ඇතුළු පර්යේෂකයන් ද, පේරාදෙණිය ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන් ද විද්වත් සභාවට එක්ව සිටියහ.
 

ගොවීන්ගේ හඳුන්වාදීම් අනුව තෝරා ගෙන, ප‍්‍රභේද නිවැරදිතාවය විද්‍යාත්මකව සහතික කළ වී ප‍්‍රභේද නමයක ‘බිත්තර වී’ ගොවීන්ට බෙදා දීම ද මෙහි දී සිදු විය.
 

ඒ අනුව ප‍්‍රභේද නිවැරදිතාවය සහතික කළ පාරම්පරික වී වර්ග මෙසේ ය.
 

01-හේරත් බණ්ඩා-රතු සහල්/මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006421
 

02-සූදුරු සම්බා-මාස-හතර-හතර හමාර
 

03-කලූ හීනැටි-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006713
 

04-කුරුලූ තුඩ-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗005416
 

05-පච්චපෙරුමාල්-මාස-තුන හමාර-හතර-නාමකරණ අංකය-ACC⌗005549
 

06-මඩතවාලූ- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗012391 
 

07-මුරුංගාකායම්-මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗006280 
 

08-පොක්කාලි- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗004160 
 

09-සුවඳැල්- මාස-තුන හමාර-තුන- නාමකරණ අංකය-ACC⌗013300
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නිවැරදිව නාමකරණය කර ව්‍යාප්ත කිරිමේ වැඩ පිළිවෙල දිගට ම පවත්වා ගෙන යන බව විද්වත් සභාවේ දී ප‍්‍රකාශ විණි.
2019/10/17

Thursday, 29 August 2019

‘පන් කොටුවේ’ වික‍්‍රමය



විෂ බැර ලෝහ ඉවත් කරන
‘පන් කොටුවේ’ වික‍්‍රමය




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී නම්, ‘වැවක්’ යනු හුදු වතුර ටැංකියකි. එය නිපදවා ඇත්තේ වැසි සමයේ දී ලැබෙන වතුර ටික, ඉඩෝර සමයේ ප‍්‍රයෝජනය පිණිස රැස්කර තබා ගන්නට ය. තව ඉතින් ‘වැව් මාළු’ ටිකක් අල්ලා ගැනීම වැනි අතිරේක ඵල ප‍්‍රයෝජන ද වැවකින් ලැබේ යයි මිනිස්සු කල්පනා කරති!

ඔවුන් මෙසේ කියන්නේ නවීන තාක්ෂණය යටතේ මෑතක ඉදි කෙරුණු ‘වැව්’  හෙවත් මහා ‘ජලාශවලට’ ය. එහෙත් පැරණි ව්‍යවහාරයේ හැටියට, ‘වැවක්’ යනු සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතය, ආහාර සහ ගොවිතැන, පරිසර හා ජල සංරක්ෂණය ආදී වශයෙන් බහුවිධ භාවිතාවක් සහිත, සජීවී නිර්මිතයකි. එවන් වැව් ඉදි කළෝ පැරණි රජවරු ය.

සෑම අවස්ථාවක ම, වැවකට එකතු වන්නේ වර්ෂා ජලයයි. ඒවා කෙලින් ම අහස් දියෙන් වේවා, වැව ඉහත්තාවෙන් ගලා එන දිය සීරා ඔස්සේ හෝ වේවා, එක් රැුස් වීමෙන් වැවක ජල තලය නිර්මාණය වෙයි. පැරණි ලාංකේය ‘වැව’, ගම් වැව්, කුළු වැව් (කැලෑ වැව්), මහ වැව් සහ මහා සමුද්‍ර ආදී වශයෙන් මාදිලි ගණනාවකින් සමන්විත ය. එසේම ඒවාට, කෙත් ඇළවල් සහ යෝධ ඇළවල් ආදී වශයෙන් ඇළ මාර්ග පද්ධතීන් ද අයත් වේ. තමන්ගෙන් යැපෙන්නන්ට ජලය අවශ්‍ය සෑම අවස්ථාවක දීම, ඉතා ‘පිරිසිදු’ නැවුම් දියවර නිකුත් කිරීම, වැවක පාරම්පරික කාර්්‍යභාරය විය.
දේශීය පාරම්පරික වැව, කෘෂිකාර්මික ජලය සඳහා ද, පානීය ජලය සඳහා ද, පරිසරයේ ප‍්‍රයෝජනය සඳහා ද, විෂ බැර ලෝහ හෝ ලවණ (කිවුල) පෙරා පිරිසිදු  කරන අතිශයින් ම කාර්්‍යක්ෂම ‘පෙරහනක්’ වශයෙන් පැවති බව, වැව් සම්බන්ධයෙන් වන අලූත් ම කියැවීමයි. පෙරහන ‘සක‍්‍රිය කිරීම’ පිණිස අනාදිමත් කාලයක් මුළුල්ලෙහි මහා දායකත්වයක් දරමින් සිටින්නේ ‘පන් වර්ග’ යයි සොයා ගැනීම, අලූත් ම කාරණයයි!

‘මේක හරිම විශේෂිත දෙයක්. වැව් ආශ‍්‍රිතව වැවෙන පන් වර්ග ඉතා සීග‍්‍රයෙන් විෂ බැර ලෝහ සහ ලවණ උරා ගන්නවා. එයින් ජලය පිරිසිදු වෙනවා. පහුගිය කාලයේ රජරට විශ්ව විද්‍යාලයේ කෙරුණු පර්යේෂණ කිහිපයකින් ම, මේ කාරණය හෙළි වුණා. අපිත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ‘එල්ලංගා වැව් දාමවල’ කළ හැදෑරීම්වල දී මේ කාරණය අත් දකින්නට හැකි වුණා’, රජරට ප‍්‍රදේශයේ පැරණි වාරි පද්ධති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, පාංශු සහ ජල විද්‍යාඥවරියක වන ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය කියන්නී ය.

රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක ඇතුළු කෘත‍්‍රිම කෘෂි රසායන ඔස්සේ පොළොවට විෂ එකතු වන බව, මුලින් ම කතාබහට ලක් වූයේ 1990 දශකය මුල් භාගයේ ය. එය මහජන අවධානයට ලක් වූයේ මාරන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගය රජරට ප‍්‍රදේශයෙන් ඉස්මතු වීමත් සමගිනි. ඒ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ ඔස්සේ අනාවරණය වූයේ කෘෂි රසායන මගින් පොළොවට සහ ජලයට එකතු වන ආසනික්, කැඞ්මියම් සහ රසදිය ආදී බැර ලෝහ වර්ග නිසා මාරාන්තික වකුගඩු රෝගය හට ගන්නා බව ය. රටේ ප‍්‍රධාන කෘෂිකාර්මික ප‍්‍රදේශවල පස හා ජලයට වස-විස මුසුව ඇති බව එයින් කෙරුණු ලොකු ම හෙළිදරව්වයි. ඉන් මිදෙන මං සෙවීම සඳහා පසුගිය කාලය පුරාවට විවිධ කතිකාවන් ද හට ගත්තේ ය.

‘පන් වර්ග’ භාවිතයෙන් විෂ බැර ලෝහ සහ ලවණතාවය පෙරා දැමිය හැකි යයි අනාවරණයකර ගැනීම ද, ඒ කතිකාවේ ම දිගුවකි!

දේශීය භාවිතාවේ දී ‘පන් වර්ග’ යොදා පැදුරු-මළු විවීම ඇතුළු බඩු භාණ්ඩ නිපදවා ගැනීම, පාරම්පරික කර්මාන්තයකි. එයින් කෙරුණේ, රටා පැදුරු, මාගල්, බුමුතුරුණු, ඇතුල් පත්, වට්ටි-පෙට්ටි, මළු, හැඳි ආන් ආදී ගෘහ පරිභෝග භාණ්ඩ නිපදවා ගැනීමයි. පන් කොල කපා පියා, බඩු භාණ්ඩ සැකසීම, කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යනු ලැබුවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කාන්තාවන් විසිනි. පන් වර්ග වැවුණේ ජලජ පරිසරයේ ය. ඒවා කැපීම, වේලා, සායම් පොඟවා වර්ණ ගැන්වීම සහ පැදුරු ආදිය වියා සැකසීම කෙරුණේ ඔවුන් අතිනි.

පන් වර්ග, උද්භිද විද්‍යාත්මකව අයත් වන්නේ ‘සයිපරේසියේ’ ‘Cyperaceae’ කුලයට ය. ඒවා අතර, ගල්ලැහැ පන්, හම්බු පන්, පොතු පන්, ඉකිරිය පන්, හැවන් පන්, බොරු පන්, හීන් පන් සහ තුන්හිරියා පන් ආදී වශයෙන් වර්ග ගණනාවකි. ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය පවසන අන්දමට, මේ පන් වර්ග හැම එකක් ම පාහේ ජලයෙහි විෂ බැර ලෝහ සහ ලවණ (කිවුල) පෙරීමේ ගුණයෙන් පොහෝනේ ය.



ලාංකේය වැවේ ක‍්‍රියාවලිය මහත් සංකීර්ණ එකකි. ඇතැම් වැවක, ඉහත්තාවේ තවත් කෘෂිකාර්මික ප‍්‍රදේශ පැවතුණා විය හැකි ය. එහෙත් බොහොමයක් අවස්ථාවල, වැව ඉහත්තාවේ පිහිටියේ වනාන්තරයකි. එය වර්ෂා කාලයට සෑහෙන තරම් ජල සම්පතක් පොළොවට අවශෝෂණයකර ගනියි. එයින් කුඩා ජල ධාරා ජනිත වෙයි. ඒවා නිරන්තරයෙන් ම, පහළින් පිහිටි වැවට ගලා බසියි. ඇතැම් විට, කුඩා ජල දහරා හරස්කර කුඩා ප‍්‍රමාණයේ ‘කුළු වැව්’ (කැලෑ වැව්) ද ඉදිකර තිබේ. ඒවායෙහි රැස්වන ජලය කෙලින් ම ගොවි බිම්වලට යන්නේ නැත. ඒ වෙනුවට, ඒවා ගලා බසින්නේ  තවත් කුඩා වැව් දාමයක් ඔස්සේ ය. මේවා ‘එල්ලංගා වැව් පද්ධති’ යයි හැඳින් වේ. එල්ලංගා පද්ධතිවල ජලය ගලා බසින්නේ වැවෙන් වැවට ය. අතීතයේ  ඇතැම් පැරණි මහ වැව් ආශ‍්‍රිතව, කුළු වැව් කිහිපයක් ද ඉදිකර තිබිණි. මහ වැව ඉහත්තාවේ  කැලෑ භූමියෙහි පොළොවේ තෙතමනය ආරක්ෂාකර ගැනීම සහ මහ වැවට, රොන් මඩින් තොර, පෙරා ගත් පිරිසිදු ජලය පමණක් ලැබෙන්නට සැලැස්වීම, කුළු වැව් දාම ඉදි කිරීමේ අරමුණ වන්නට ඇත.

පැරණි වැවේ ක‍්‍රියාවලිය අනුව, කුළු වැව් ඔස්සේ හෝ වනය ඉහත්තාවෙන් එන ජල දහරා කෙලින් ම වැවට එකතු වන්නේ නැත. ඊට පෙර ඒවා වැව ඉහත්තාවෙන් පිහිටි වගුරු බිම් ප‍්‍රදේශයකට එකතු වේ. එහි තිබෙන වලවල් ‘ගොඩ වලවල්’’ නමින්  හැඳින්වෙයි. ඒවා ද ඉහළින් ඇදී එන වතුරින් පිරෙයි. ගලා එන වතුරේ ඇති බැර ලෝහ සංඝටක, වගුරු බිමේ දී හෝ ‘ගොඩ වලවල්’ වල දී හෝ පෙරී යයි. මේ ආකාරයට, වැවේ ජල තලයට එකතු වන්නේ, වගුරු බිම ඔස්සේ පෙරී එන දියවරයි. ඇතැම් වැවක තාවුල්ල සහ වැව වටා භූමියේ කැලෑ ගොම්මනක් ද දැකිය හැකි ය.  ලාංකේය පැරණි වැවේ, විෂ බැර ලෝහ සහ ලවණ පෙරීමේ රහස ඇත්තේ මෙතැන ය. ගොඩවල්  හෝ වගුරු බිමේ ය!

පැරණි ගම්වල විවිධ පන් වර්ග සහිතව ‘පන් කොටු’ වවා තිබුණේ ගොඩ වලවල් සහිත වගුරු බිමේ ය. එසේම, ඒවායෙහි විවිධ පන් වර්ග, කන්කුන් සහ නෙළුම් අල ආදිය ද සරුවට වැවිණි. මේ ශාක සම්පත, විෂ බැර ලෝහ සහ ජලයේ දියව ඇති ලවණ වේගයෙන් උරා ගැනීමේ ගුණයෙන් පොහොසත් ය. වගුරු බිමේ දී හෝ ගොඩ වලේ දී, බැර ලෝහ ආදිය පෙරී යනවා යයි කීව ද, ඇත්තට ම සිදු වන්නේ බැර ලෝහ ආදිය පන් ආදී ශාකවලට උරා ගැනීමයි. එය අපූරු පිරිපහදු ක‍්‍රමයකි. බැර ලෝහ වැඩියෙන් ම උරා ගන්නා පන් වර්ග හඳුනා ගැනීම පිණිස, රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ මහත්මිය දැන් කලක් තිස්සේ පර්යේෂණ පවත්වමින් සිටින්නී ය.

 ඕනෑම වැවක් සිය ජල තලය රඳවා ගෙන සිටින්නේ වැව් බැම්මෙනි. ඇතැම් තැනක වැව් බැම්ම හඳුන්වන්නේ ‘වෑ කන්ද’ යනුවෙනි. වැවෙහි රැස් කරන දියයවර කෙත් බිම්වලට ගෙන යන සොරොව් (ගොඩ සොරොව් සහ මඩ සොරොව්) සහ බිසෝකොටු ආදිය ද ඉදිකර ඇත්තේ වැව් බැම්ම ආශ‍්‍රිතව ය. වැව් බැම්මට පහළ ප‍්‍රදේශයේ ‘කට්ටකාඩුව’ සහ ගොවි බිම්වලට ජලය ගෙන යන ඇළවල් ඉදිකර තිබෙනු දක්නට ලැබේ.
වැව් බැම්මට යටින් ඉතා සියුම් ලෙස කාන්දුවන ජලයේ වුව, බැර ලෝහ හෝ ලවණ මුසු ජලය තිබෙන්නට පුළුවන. ඒවා එක් රැස් වන්නේ වැව් බැම්මට පහළ පිහිටි  ‘කට්ටකාඩුව’ නම් භූමි තීරුවට ය. කට්ටකාඩුව ද, වැව් ජලය පිරිපහදු කරන එක් උපක‍්‍රමයකි. පාරම්පරික වැව්වල කට්ටකාඩුවෙහි ‘යතුරු වලවල්’ නමින් හැඳින්වෙන දිය වලවල් දක්නට ලැබේ. වැවෙන් ඇදී එන බැර ලෝහ හෝ ලවණ මුසු ජලය ඒවායෙහි එක් රැස් වන අතර, එහි සිට ඇරඹෙන ‘කිවුල් ඇළ’ ඔස්සේ ඒවා ගොවි බිම්වලින් පිටතට ගලා යයි.

කට්ටකාඩුව ද වගුරු බිමක් බඳු භූමියකි. එහි සියලූම පන් වර්ග ද සහිත ‘පන් කොටු’ ද දැකිය හැකි ය. එසේම, කුඹුක්, මී, තල්, කිතුල්, කොස්, අඹ, දිවුල්, ඔළිඳ, එරබදු, වැටකෙයියා, නෙල්ලි, වේවැල්, ලූණවරණ, හබරල, තිඹිරි, කෝන්, කරඳ, පටබෙලි, කොහිල, ඇත් තෝර, කන්කුන් සහ හණ ආදී ශාක ප‍්‍රජාවක් ද දැකිය හැකි ය. මේ ශාක වර්ග ද විෂ බැර ලෝහ හෝ ලවණ උරා ගැනීමෙහි වෙසෙස් සමත්කම් දක්වන බව, ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය පවසන්නී ය.

‘වැව්, කෘෂිකාර්මික භූමි ආශ‍්‍රිතව අපට පන් වර්ග වවන්න පුළුවන්. එතකොට ඒවාට බැර ලෝහ සහ ලවණ උරා ගන්නවා. පන් කපලා පැදුරු ආදිය වියන්න ගත්තාම, ඒ බැර ලෝහ භූමියෙන්, ජලයෙන් සහ පසෙන් ඉබේම බවත් වෙනවා. අපිට දැන් පැරණි වැව් සැලැස්මට යන්න බෑ. ඒත් ඒකේ තියෙන බැර ලෝහ අවශා්ෂණයකර ගැනීමේ උපක‍්‍රම ටික අර ගෙන, අලූත් වැඩක් කරන්න පුළුවන්. දැනටමත් අපි ඒ වාගේ යෝජනාවක් සකස් කරලා තියෙනවා’, ඇය කියයි!

‘පන්නම් කතුර’ නම් ජන කාව්‍ය මාලාව, අපේ රටේ පන් කර්මාන්තයේ විචිත‍්‍රවත් හැඩතල ඉස්මතු කරවන සාහිත්‍යාංගයකි. එහි එන එක් කවියක් මෙසේ ය.
‘සත් මසකට ඇති දරුවා පිළිසිඳිලා
චිත‍්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා
ගබ්සා වෙයි කැපුවොත් පන්විල බැසලා
එපා යන්ට කී මගෙ හිමි මට බැණලා’
කවියෙහි කියැවෙන අන්දමට, ගැබිණි කතුන්ට පන් කපන්නට යාම සුදුසු නැත. පන් වැවෙන වගුරු සහිත භූමිය වස විසෙන් පිරුණු තැනක් බව ජන කවියා දැන සිටියේ ද? යන්න, ඉන් පැන නැගෙන කාරණයයි!

(මෙම ලිපිය  2019/07/15-සති අග අරුණ පුවත්පතෙහි  පළවිය)

Tuesday, 19 February 2019

ලාංකිකයන් බත් කෑමට ඇලූම් කරන්නේ මන්ද?


ලාංකිකයන් බත් කෑමට ඇලූම් කරන්නේ මන්ද?
අවුරුදු 47,000කට පසුව රහස හෙළිවෙයි!





පාහියන් ලෙන පිහිටි පර්වතය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පෙරදිග රටවල ඇසින් බලන කල, ‘වී සම්පත’ යනු ලොව වෙසෙන මිනිසුන්ගේ කුසගිනි නිවන මහා ධාන්‍ය භෝගයයි. වී ඇටය පැල වීමෙන් ගොයම් ගසත්, එයින් යළි වී අස්වනුත්, වි කොටා පෑහීමෙන් සහලූත්, සහල් පිසීමෙන්  ‘බතත්’ ලැබෙයි. ‘බත’ යනු මනුෂ්‍යයන්ට පෝෂණ ගුණයෙන් අනූන, ශරීර ශක්තිය වඩවන, ඔසු ගුණයෙන් ද පිරිපුන් මහා ධාන්‍ය ආහාරයයි! ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලංකාව  ඇතුළු ආසියාතිකයින්ගේ ද ප‍්‍රධාන ආහාරය වූයේ ය! වියෙන් උපදින ‘සහල්’, විශිෂ්ඨ ගණයේ  ආහාර වර්ගයක් වන්නේ එතැනිනි!

‘සහල්’ මනුෂ්‍ය ආහාරයක් හැටියට භාවිතා කිරීමේ ලාංකේය පුරුද්ද බොහොම පැරණි එකකි. එහි ඉතිහාසය, අදින් වසර තිස් හතළිස් දහසක් පමණ ඈතට දිව යයි. එය එතරම් පැරණි යයි හඳුනා ගැනීම, දකුණු ආසියාවේ ආදි මානව ජීවිතය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් කළ අලූත් ම සොයා ගැනීමයි! අදින් වසර 37,000කට, 47,800කට පමණ ඉහත, බුලත්සිංහල ‘පාහියන් ලෙනෙහි‘ විසු ආදි මානවයන්, ආහාර පිණිස ‘වල් වී වර්ග’ හෙවත් ‘ඌරු වී වර්ගවල’ සහල් පරිභෝජනය කළ බව නවතම පර්යේෂණවලින් තහවුරුවී තිබේ!

අදින් වසර 37,000-47,800ක් තරම් ඈත කාලයේ, මැටි බ`දුන් භාවිතාවක් හෝ ආහාර පිසීමේ ක‍්‍රමයක් නො තිබිණි. එබැවින් එකල පාහියන් ලෙනෙහි විසූවෝ, වනයෙන් නෙලා ගෙන පැමිණි ‘වල් වියැට’ (වල් වී ඇට) අමුවෙන්, තැලීමෙන් හෝ, ගින්නෙන් පළහා ගැනීමෙන් හෝ ආහාරයට ගන්නට ඇතැයි අනුමාන කළ හැකි ය!

මේ කාරණය, අතිශයින් ම කුතුහලය දනවන්නේ ය. පාහියන් ලෙනෙහි විසූ ආදි මානවයන් ‘වල් වී’ ආහාරයට ගෙන ඇති බව හෙළිවී ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ, මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙරුණු පර්යේෂණයක දී ය. ඒ සම්බන්ධයෙන් ‘පර්යේෂණ ලිපියක්’, ‘Global Journal of Human Sciences’ නම් ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ ‘2017/Vol-17-Issue-2 (Ver.1.0)’  වැනි කලාපයෙහි පළකර තිබේ. පර්යේෂණ ලිපිය පළකර ඇත්තේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක, ක‍්‍රිස්  ඕ. හන්ට්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැනීම් අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔෂාන් වෙදගේ යන විද්වතුන් විසිනි. ‘Late Pleistocene Humans used Rice in Sri Lanka: Phytolith Investigation of the Deposits at Fahien Rock Shelter’ යන්න, එහි මාතෘකාවයි. ලිපියෙහි  සඳහන් වෙන කරුණු අනුව, වල් වී වර්ගවල  ‘සහල්’  ආහාරයට ගෙන ඇති පැරණි ම දකුණු ආසියානු රට ද ලංකාව බව කිව හැකි ය!




මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා
මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක ඇතුළු පර්යේෂකයන් මේ තොරතුරු හෙළිකර ගෙන ඇත්තේ, කළුතර දිස්ත‍්‍රික්කයට අයත් බුලත්සිංහල ‘පාහියන් ලෙනෙහි’ 2012 වසරේ කළ පර්යේෂණ මගිනි. පාහියන් ලෙන ලංකාවේ ඉපැරණි ආදි මානව ජනාවාසයකි. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1986-1998 යන වර්ෂවල පටන් වරින්වර එහි කැනීම් කරමින් පර්යේෂණවල යෙදුණි.  අවසන්වරට එහි කැනීම් කෙරුණේ 2012 වසරේ ය. එය සිදු වූයේ, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරුන්ගේ මගපෙන්වීම් අනුව ය. කැනීම් පර්යේෂණය මෙහෙයවූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාවූ ආචාර්ය නිමල් පෙරේරා මහතා විසිනි.

2012 වසරේ කැනීමෙන් හෙළිකර ගෙන ඇති තොරතුරු අනුව, පාහියන් ලෙන වූ කලී, ලංකාවේ පැරණි ම ආදි මානව ජනාවාසයයි. එමෙන් ම එය, දැනට දකුණු ආසියාවේ ඇති පැරණිතම ආදි මානව ජනාවාසය ද වෙයි. පාහියන් ලෙනෙහි ආදි මානව ජනාවාසය අදින් වසර 48,000ක් පැරණි බව හෙළිදරව් වූයේ 2014 වසරේ දී ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයේ කළ කාලනිර්ණ පර්යේෂණ මගිනි.

‘මීට ඉහත ආසියාවේ පැරණිි ම මානව ජනාවාසය ලෙස සැලකුණේ ඉන්දුනීසියාවේ, බෝර්නියෝ දූපත්වල පිහිටි ‘නියා’ ගල්ලෙනයි. දැන් පැරණි ම ජනාවාසය පාහියන් ලෙන බව ඔප්පු වෙලා. අපේ රටේ මානව ඉතිහාසය ඉතාමත් පැරණි එකක්. පාහියන් ලෙනෙහි විසූ මානවයින් තෙත් කලාපීය පරිසරයේ අභියෝග ජය ගනිමින් ආහාර සපයා ගත් ආකාරය ඔවුන්ගේ වල් වී භාවිතාවෙන් පෙනී යනවා’, එසේ කියන්නේ ආචාර්ය නිමල් පෙරේරා මහතා ය.
 
ආචාර්ය නිමල් පෙරේරා මහතා
බුලත්සිංහල පාහියන් ලෙනට ඒ නම ලැබී ඇත්තේ, ක‍්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි සියවසේ දී ‘ෆාහියන්’ නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුවක්, ශ‍්‍රී පාද වන්දනාවේ යන අතරතුර එහි නවාතැන් ගත් බව කියැවෙන ජන ප‍්‍රවාදයෙනි. එයින් පසුව එය ‘පාහියන් ලෙන’ නමින් ප‍්‍රසිද්ධවී තිබේ. වර්තමානයේ එය සැලකෙන්නේ, පෘථිවි ඉතිහාසයේ ‘ප්ලයිස්ටෝසීන යුගය’ (අවසන් හිම යුගය) නිමා වීමෙන් පසුව එළඹුණු  ‘මධ්‍ය ශිලා යුගයට’ අයත් මානව ජනාවාසයක් වශයෙනි. මධ්‍ය ශිලා යුගය වූ කලී, ‘හෝමෝ සේපියන්ස් සේපියන්ස්’ හෙවත් අප වැනි ‘නවීන මානවයන්’  විසූ වකවානුවයි. ඒ අනුව, අදින් වසර 48,000ක පටන් ම පාහියන් ලෙනෙහි මනුෂ්‍යයන් (නවීන මානවයන්) වාසයකර තිබේ.  ලංකාවේ ව්‍යවහාරයට අනුව නම්, ඔවුන් ‘බලංගොඩ මානවයන්’ වෙති.

එකල ආදි මානවයන් ජීවත් වූයේ, වන සතුන් දඩයම සහ ‘වනජ ද්‍රව්‍යය’ (වනයෙන් නෙලා ගන්නා ශාකමය ද්‍රව්‍යය) පාරිභෝජනය  කිරිමෙනි. එනම්, දඩ මස් සහ වනයෙන් ලබා ගන්නා ආහාර (අල වර්ග, පලතුරු ගෙඩි වර්ග, ශාක පත‍්‍ර වර්ග ආදී) ආහාරයට ගැනීමෙනි. මේ කියන කාලයේ යම් භෝගයක් වගා කිරීමේ පිළිවෙතක් හෝ ගොවිතැන් කිරීමක් (කෘෂි කර්මාන්තයක්) නො තිබිණි. 




දකුණු ආසියාවේ ‘වල් වී සහල්’ ආහාරයට ගෙන ඇති පැරණි ම රට ලංකාව බව, පාහියන් ලෙන ආදි මානව ජනාවාසය ඇසුරෙන් සොයා ගැනීම, සුවිශේෂ කාරණයකි. එයින් ලංකාවේ ආදි මානව ජීවිතයට මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳ ඉතිහාසයට ද ලැබෙන්නේ ප‍්‍රබල ආලෝක ධාරාවකි!

මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා පෙන්වා දෙන අන්දමට, පාහියන් ලෙනෙහි ගැඹුරු පස් ස්තර අතරින් ‘වල් වී’ පිළිබඳ සාධක සොයා ගැනුණේ ද වෙනස් ක‍්‍රමයකට ය. පුරාවිද්‍යා පර්යේෂණවල දී එය හැඳින්වෙන්නේ ‘ක්ෂුද්‍ර සිලිකාමය පොසිල (Phytolith හෙවත් microscopic plant silicate bodies)’ පරීක්ෂා කිරීම යනුවෙනි. පර්යේෂණයේ දී, පාහියන් ලෙනෙහි මානව ජනාවාස පස් ස්තර අතරින් වල් වී වර්ගවල පත‍්‍ර කොටස්, බීජ සහ පොතු ආදියෙහි ‘ක්ෂුද්‍ර සිලිකාමය පොසිල සාධක’ හමුවී තිබේ. ඒවා හමුවී ඇත්තේ වසර තිස් හතළිස් දහස් ගණන් පැරණි පස් ස්ථරවලිනි. පර්යේෂණය සිදු කෙරුණේ මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

‘මේවා ගොවිතැන් කරපුවා (Cultivated rice)නොවෙයි. වනයේ ස්වාභාවිකව ම හැදුණු ‘වල් වී’ වර්ගයි. පාහියන් ලෙනේ සිටි මානවයන් ඒවා විශාල ලෙස ආහාරයට ගෙන ඇති බව අපට පෙනී ගියා’ යයි මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා සඳහන් කළේ ය.

සාමාන්‍යයෙන් ‘වල් වී’ හෝ ‘වන වී’ යනු, ලෝකයේ දැනට වගා කරන වී ශාකවල ‘වල් දර්ශයන් (wild  species)’ ය. ඒවා, කාලාන්තරයක් මුළුල්ලේ විකාශනය වීමෙන් අද පවත්නා ‘වගා කරන වී වර්ග’ (ගෘහස්ථීකරණයට ලක්වූ වී වර්ග) බිහිවුණු බව පිළිගැනීමයි. කෘෂි විද්‍යාඥයන් පවසන අන්දමට, ‘වගා කරන වී’ (Cultivated rice) ආරම්භ වූයේ වල් වී (wild  species) වර්ගවලිනි. මේ කාරණය තවත් අතකින් පැහැදිලි කරන්නේ නම්, ‘වල් වී’ යනු දැනට අප ආහාර පිණිස වගා කරන වී වර්ගවල, මුතුන් මිත්තන් ය. ලංකාවේ ජන ව්‍යවහාරය අනුව,  ‘වල් වී’ හැඳින්වෙන්නේ ‘ඌරු වී’ නමිනි.

වී ශාකය අයත් වන්නේ ‘ග‍්‍රැමිනේ’ නම් ‘තෘණ’ කුලයට ය. එයට අයත් වී ශාක විශේෂ 22ක් ඇති අතර, එයින් ලොව ආහාර පිණිස වගා කරන්නේ ‘ඔරයිසා සැටයිවා’ (Oryza sativa) සහ ‘ඔරයිසා ග්ලැබරිනා’ (Oryza glaberina) යන විශේෂ දෙක පමණි. එයින් ‘ඔරයිසා සැටයිවා’ යන වී විශේෂය, ‘ජැපොනිකා’ සහ ‘ඉන්ඩිකා’ යනුවෙන් තවත් කාණ්ඩ දෙකට බෙදී යයි.  එයින් ලංකාව, ඉන්දියාව ආදී ආසියාතික රටවල වගා කෙරෙන්නේ ‘ජැපොනිකා’ කාණ්ඩයේ වී වර්ග ය.

‘වල් වී’ හෝ ‘වන වී’ යයි හඳුන්වන ශාක ද අයත් වන්නේ, ‘වගා කරන වී වර්ග’ ඇතුළත් ‘ග‍්‍රැමිනේ’ තෘණ කුලයට ය. ලංකාවෙන් දැනට හඳුනා ගෙන ඇති ‘වල් වී’ වර්ග සංඛ්‍යාව පහකි. ඒවා, ‘ඔරයිසා නිවාරා’, ‘ඔරයිසා රුෆිෆෝගන්’, ‘ඔරයිසා ඉවිනිගරි’, ‘ඔරයිසා මැටිස්’ සහ ‘ඔරයිසා ග‍්‍රැනියුලා’ යනුවෙන් හැඳින්වේ. වල් වී ද ‘ඔරයිසා’ කාණ්්ඩයට ම අයත් වන බැවින් රූපීය, කායික සහ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ  අතින් අප වගා කරන වී වර්ගවලට බෙහෙවින් සමාන ය.

‘මෙතැන වැඩියෙන් ම ආහාරයට අරන් තියෙන්නේ ‘ඔරයිසා නිවාරා’ (Oryza nivara) කියන වල් වී වර්ගයයි. ඊට අමතරව. ‘ඔරයිසා රුෆිපෝගන්’ (Oryza rufipogon) කියන වර්ගයත් යම් ප‍්‍රමාණයක් භාවිතා කළ බවට සාධක හමු වුණා’, මහචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා පැවසුවේ ය.

වී වගාවේ ආරම්භය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධව ඇති කරුණු අනුව, ලෝකයේ වී ගොවිතැන ආරම්භවී ඇත්තේ අදින් වසර 6000කට පමණ ඉහත දී ය. එය සිදුව ඇත්තේ චීනයේ සහ ඊසාන දිග ඉන්දියාවෙනි. ඉක්බිති වී වගාව ලෝකය පුරා පැතිර ගිය බව සාමාන්‍ය පිළිගැනීමයි. ලංකාව සම්බන්ධයෙන් බලන කල, මුල් ම වී වගාවන් පැතිර තිබුණේ, මල්වතු ඔය, දැදුරු ඔය සහ කලා ඔය ආදී වියලි කලාපීය ගංගා නිම්න භූමි මුල්කර ගනිමිනි.

කෙසේ වෙතත්, ලංකාවේ වී ගොවිතැන පිළිබඳ පැරණිතම පුරාවිද්‍යා සාධකය හමු වන්නේ 1969 වසරේ අනුරාධපුරයේ ඇතුළු නුවරිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා කළ කැනීම්වලින් අදින් වසර 2900ක් (ක‍්‍රි. පූ. 900-600) පැරණි වී වගා සාධක හමු විය. එහෙත් පාහියන් ලෙනෙහි පුරාවිද්‍යා පර්යේෂණ මගින් සොයා ගෙන ඇති වල් වී පිළිබඳ සාධක, අනුරාධපුරයේ වී වගා සාධකවලට වඩා අවුරුදු 45,000ක් පමණ පැරණි ය!
ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා කියන්නේ අපූරු කතාවකි!
‘වී ගොවිතැනේ ආරම්භය ගැන මෙතෙක් දැන සිටි කාරණාවලට වඩා දෙයක් මෙතැන තියෙනවා. මං හිතන විදිහට, අපේ ආදි මානවයන් වසර තිස් හතළිස් දහසක් තිස්සේ ‘වල් වී වර්ග’ පරිභෝජනය කරලා තියෙනවා. ඒ තරම් විශාල කාල පරාසයක් මුළුල්ලේ ඔවුන් වල් වී වර්ග සමග ගෙන ගිය සම්බන්ධතාවය ඔස්සේ, වර්තමානයේ අපි ‘වගා කරන වී වර්ග’ (Cultivated rice)  බිහි වෙන්නට ඇතැයි මා සිතනවා. ඒ අනුව, ‘වගා කරන වී වර්ග’ පිටින් හඳුන්වා දුන්නා ය කියන අදහස ට එකඟ වෙන්න බෑ. අපේ ආදි මුතුන් මිත්තන් විශාල කාල පරාසයක් මුළුල්ලේ ‘වල් වී වර්ග’ සමග මහා පරිශ‍්‍රමයක් දරලා තියෙනවා. එයින් වර්තමාන වී වර්ග නිර්මාණය වෙන්න ඇති’

‘පහුගිය කාලයේ අපි ඉන්දියාවේ චෙන්නායි නුවරට නුදුරින් ‘අට්ටිරාම්පක්කම්’ ප‍්‍රදේශයේ ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක කැනීම්වලට සහභාගි වුණා. ඒක ගල් ආයුධ විතරක් හමුවන (Early Acheulian occupation) එළිමහන් ජනාවාසයක්. එය දළ වශයෙන් අවුරුදු මිලියන එකහමාරක් පමණ පැරණියි. අපට එතැනිනුත් ‘වල් වී වර්ග’ පිළිබඳ සාධක ලැබුණා. මේ කාරණය අපි ‘ELSEVIER-Vol-14/2017-Aug./Journal of archaelogical science report’ නම් සඟරාවේ පර්යේෂණ ලිපියක් හැටියට පළ කළා. මේක සුවිශේෂයි. මොකද, අවුරුදු මිලියන එකහමාරකට ඉහත කාලේ ලංකාව හෝ ඉන්දියාව කියලා රටවල් තිබුණේ නෑ. ඒ කාලේ වර්තමාන ලංකා භූමිය සහ ඉන්දීය භූමිය එකම ගොඩ බිමක්. අපේ රටවල් අතරට මුහුද ඇවිත් තියෙන්නේ අදින් වසර 7000කට ඉහත දීයි. වල් වී පිළිබඳ මේ පැරණි සාධකවලින් කියැවෙන කාරණය බොහොම වැදගත්. මම හිතන්නේ ලෝකයේ ‘වී භෝගය’ පිළිබඳ මුල් ම ජන උරුමය ගොඩ නැගෙන්නට ඇත්තේ දකුණු ආසියාවේ පහළ ප‍්‍රදේශ හෙවත් දකුණු ඉන්දියාවේ සිට පහළට, ලංකාව තෙක් පැතිරෙන මානව ජනාවාස භූමිවලයි!’

මේ තොරතුරු අනුව, ලංකාවේ ‘වී ගොවිතැනට’ මෙන්ම, ලාංකිකයන් ‘බත් කෑමට ඇලූම් කිරීමේ පුරුද්දට’ ද ඉතා දිගු ඉතිහාසයක් ඇති බව පෙනී යයි. ‘වල් වී වර්ග’, වර්තමානයේ වගා කරන වී වර්ග (Cultivated rice)  දක්වා විකාශනය වී ඇත්තේ නිකම්ම නොවේ. පාහියන් ලෙනෙහි ආදි මානව ජනාවාසය පැවති වසර දහස් ගණනක ඈත කාලයේ පටන් අපේ මුතුන් මිත්තන් දුක සේ දැරූ මහා පරිශ‍්‍රමයෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි!
(මෙම ලිපිය 2019.02.17 වැනි ඉරිදා අරුණ පුවත්පතේ පළවිය.)