Followers

Wednesday 30 October 2019

කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි

පනාගොඩ ගොවියෙක් කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි







(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) 
(පින්තූර-හෝමාගම නන්දන රණසිංහ)
ස්වාභාවිකව මුහුන් වූ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් ඇසුරෙන් නව වී ප‍්‍රභේදයක් නිපදවීමට හෝමාගම  පනාගොඩ ප‍්‍රදේශයේ ගොවි මහතෙකු දැරූ උත්සාහයක් සාර්ථක වී තිබේ. ඔහු නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නම්කර ඇත.

මාස තුනහමාරක් හෝ හතරක කාලයකින් ඵල දරන නව වී ප‍්‍රභේදය, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, පර්යේෂණ කටයුත්ත සඳහා සහාය දුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය පවසයි. එය රතු සහලක් ගෙන දෙන වී ප‍්‍රභේදයකි.
නව වී ප‍්‍රභේදය නිපදවා ඇත්තේ හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ පදිංචිව සිටින එම්. ඞී. පියසේන නම්  ගොවි ක‍්‍රියාකාරිකයා විසිනි. 

දේශීය පාරම්පරික වී වර්ග වගා කළ ගොවි පවුලකින් බිහිවුණු හෙතෙම දැනුදු පැරණි වී ප‍්‍රභේද විස්සක් පමණ වගා කරයි. ඔහු ඒ සියල්ල කරන්නේ ‘කාබනික පොහොර’ භාවිතාවෙනි. සිය නිෂ්පාදන නිවසෙහි සිටම අලෙවි කරන පියසේන, ඒ සඳහා ‘තෙදබල පාරම්පරික සහල්’ නමින් කුඩා ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යයි. ඔහුගේ වී වගා භූමිය අක්කර දාහතක් වන අතර, එය අයත් වන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරට ය.

‘ගුරුපියා’ සහලෙහි පෝෂණීය සහ ඖෂධීය ගුණ සම්බන්ධයෙන් විශ්ලේෂණ කිරීම ආදී කටයුතුවලට සහාය වී ඇත්තේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරයි. ඇය  සමග ආචාර්ය ප‍්‍රශාන්ත මලවිආරච්චි ද, පර්යේෂණයේ ශිෂ්‍යා පී. ඒ. නදිනි තුෂාරා ද මෙම කටයුත්තට එක්ව ඇත.
ආචාර්ය පහන් ගොඩකුඹුර පවසන අන්දමට, ‘ගුරුපියා’ වියෙහි සහලේ බත, හෘද්‍යාබාධවලට තුඩු දෙන ‘කොලෙස්ටරෝල්’ පාලනය කිරීමේ ඉහළම ගුණයෙන් යුක්ත ය.

‘මෙදා සැරේ මාස් කන්නයටත් මම අනෙකුත් වී වර්ග සමග ‘ගුරුපියාත්’ වපුරනවා’, පියසේන ගොවියා ‘අරුණට’ පැවසී ය.

(මෙය 2019/10/30 දින ‘අරුණ’ පුවත්පතේ පළ විය.)


No comments:

Post a Comment