Followers

Sunday, 4 October 2020

වාරි ජලය ප්‍රමාද වීමේ රහස්!

 

වාරි ජලය ප්‍රමාද වීමේ රහස්!

 

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

‘ගොයම් ටික කපලා, ගෙදර යන කොට වක්කඩවල් ටික බඳලා යනවා නම්, අහස් වැස්සට ලියැදිවල වතුර පිරෙනවා. එයිනුත් වල් මර්දනය වෙනවා. තව ඉතින් හීයකුත් හෑවා නම්, වල්  ඉතිරි ටිකත් මර්දනය වෙනවා. ඒත් ගොවියෝ එහෙම කරන්නේ  නෑ. ආණ්ඩුවත් ඒ ගැන සද්දේ වහලයි ඉන්නේ. මහ හෝ යල, ඊළඟ කන්නය  පටන් ගන්න කල් ඔය වැඩේ කරනවා නම්, වල් මර්දන වියදම සියයට පණහකින් පමණ අඩු වෙනවා. වල් මර්දනයකර ගන්නට ගොවියාට ඉඩ සැලසෙනවා, මෙසේ කියන්නේ මැදිරිගිරියේ දිවුලන්කඩවල, කේ. ජී. ඒ. වීරසිංහ ගොවි නායකයා ය.

ඔහු මේ බව සඳහන් කළේ, ගොවීන් ඉල්ලන වේලාවට වාරි ජලය ලබා නො දීමේ ‘අනුසස්  ගැන කතා කරමිනි.

 

 


 

වර්තමානයේ මහවැලි සහ සෙසු මහා වාරිමාර්ග යටතේ ඇති වගා බිම් සඳහා වාරි ජලය සැපයීමේ නිල බලධාරියා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ‘ජල කළමනාකරණ ලේකම් කාර්යාලයයි. එක් එක් මහා වාරිමාර්ග ප්‍රදේශවලට, දියවර බෙදන කාලසටහන හදන්නේ ඔවුන් ය. එහෙත් ඔවුන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  ‘කලට-වේලාවට‘ වාරි ජලය ලබා නො දීම සම්බන්ධයෙනි! බොහෝ කාලයක පටන් ම. ඔවුන් එම ‘කීර්තිය උසුලමින් සිටින්නෝ ය,

වී වගාව ආරම්භ කිරීමේ ප්‍රථම වතුර මුරය  ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ද, ‘මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයටහිමිව ඇත්තේ, නරක ප්‍රසිද්ධියකි. වී ගොවිතැන කලට-වේලාවටකළ යුත්තකි. එය සිදු නො වුණ හොත්, ගොයමට ලෙඩ වැඩි ය. එයින් වී ගොවියාගේ වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යයි!

ප්‍රථම වතුර මුරයප්‍රමාද වෙනවා ය, යන්නෙහි තේරුම වී වගාව ප්‍රමාද වීමයි. එවිට ගොවීන්ට කන්නය අතරමැද ඉඩෝරය හෝ වර්ෂාව ආදී තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු වෙයි. මාස් කන්නයට සාපේක්ෂව යල කන්නයට ලෙඩ වැඩි ය.  යල කන්නයඇරඹීම ප්‍රමාද වුව හොත් ගොයමට ලෙඩ කන්දරාවක් ම වැළඳෙන බව වී ගොවීහු අත්දැකීමෙන් ම දනිති. කොයි වගා කන්නයට වුව, ඔවුහු කලට-වේලාවට වතුර ඉල්ලන්නේ ලෙඩ කන්දරාවෙන් ගැලවෙන්නට සල්ලි කන්දරාවක් ද වැය වෙන බැවිනි! එසේ වුව ද, ‘මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයටඒවා සම්බන්ධයෙන් වගේ වගක් නැති සෙයකි.

මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය’, ලංකාවේ මහවැලි ද ඇතුළුව, මහා පරිමාණ ගොවි ජනපද ව්‍යාපාර සෑම එකකට ම, (යල-මහ දෙ කන්නයට ම) වාරි  දියවර සපයයි. එහි ප්‍රධාන අරමුණ වී ගොවිතැනට ජලය සැපයීමයි. ඒ සඳහා මහා ජලාශ 24ක් ඔස්සේ, සාමාන්‍යයෙන් එක් මාස් කන්නයකට හෙක්ටයාර් 7,52,248කට පමණ (2019/2020 මාස් කන්නයේ දත්ත) වගා භූමියකට වාරි ජලය සපයයි. වී වගාව අඩු, 2020 යල කන්නයේ වගා කාල සටහන අනුව, ඔවුන් අතින් ජලය සම්පාදනය කෙරුණු වගා භූමිය හෙක්ටයාර් 1,91,561කි.

මෙහි තේරුම, ‘මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයයනු අපේ රටේ සමස්ත වී වගා භූ_මියට තීරණාත්මක ආයතනයකි. ඔවුන් වැඩ කරන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේඋපදෙස් අනුව ය. ලෝක බැංකුවේසම්බන්ධයක් ද ඔවුන්ට තිබේ.

මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේපාත්‍ර වර්ගයා අපේ රටේ ගොවීන් ය. එහෙත් එහි තීන්දු තීරණ ගන්නා ඉහළ ම මට්ටමේ කමිටුවෙහි එක ද ගොවියෙක් වත් නැත. එය නියෝජනය කරන්නේ වාරිමාර්ග සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අයත් උසස් නිලධාරීන් පමණකි. රටේ ප්‍රධාන ගොවි ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන ආරම්භ කෙරෙන්නේ කවදා ද?, එක් එක් ප්‍රදේශවල වැපිරෙන්නේ මාස කීයේ වී වර්ග ද?, ප්‍රථම වතුර මුරය නිකුත් කරන්නේ කවදා ද?, අවසන් වතුර මුරය නිකුත් කරන්නේ කවදා ද? ආදී ගොවීන්ට බලපාන අතිශය බරපතල තීන්දු තීරණ ගන්නා සාකච්ඡා මේසයෙහි කිසිදු ගොවි නියෝජනයක් නැත!

2020 යල කන්නය සඳහා ඔවුන් මාර්තු මාසයේ 26 වැනි දායින් පටන් ගෙන, අගෝස්තු මාසයේ 10 වැනි දා දක්වා විශාල කාල පරාසයක ජලය බෙදා දී තිබේ. එහෙත් ඒ, ගොවීන් ඉල්ලූ වගා කාලසටහන අනුව නොවේ. නිලධාරීන්ගේ කාලසටහන අනුව ය.

නිලධාරීන්ගේ කාල සටහන, කන්නයේ කාලගුණ රටාව මත පදනම්ව ඇති බවක් පෙනෙන්නට නැත. එබැවින් ඇතැම් පෙදෙසක ගොයම කිරි වැදෙන සමයට ඉඩෝරයටත්, ඇතැම් පෙදෙසක ගොයම පැසෙන කාලයට වර්ෂාවටත් හසු වීම සුලභ ලක්ෂණයකි! ගොවීහු තම ප්‍රදේශයේ වර්ෂාව හෝ ඉඩෝර රටාව ගැන දනිති. ඔවුන් වතුර ඉල්ලන්නේ ඒවාට ගැලැප්පෙන ආකාරයට ය. එහෙත් හැමදාමත් සිදු වන්නේ නිලධාරීන්ගේ කාල සටහන ඉස්මතු වීමයි.

දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන කන්න රැස්වීම්වල දි අපේ යෝජනා අහනවා. නිලධාරී ගොල්ලෝ ඒවා පොත්වල ලියා ගන්නවා. ඒත් කාල සටහන හැදිලා එන කොට, එන්නේ අපි ඉල්ලපු කාල සටහන නෙවෙයි, වෙන ම එකක්’, ගොවීහු චෝදනා කරති.

හිඟුරක්ගොඩ පී. එච්. ඩී. දයාරත්න (රත්නෙ අයියා) පවසන අන්දමට, යල හෝ මහ කන්නය ඇරඹීම ප්‍රමාද වුණු විට ලෙඩ කන්දරාවක් ම කුඹුර ආක්‍රමණය කරයි. කොල කන දළඹුවා, පුරුක් පණුවා, දුඹුරු පැල කීඩෑවා ආදී පළිබෝධක හානි ඇති වෙයි. මාස දෙකේ දී පමණ ගොයම මැරී යාමේ රෝගයක් ද හට ගනියි. කවුඩුල්ලේ ජයතිස්ස ගොවි නායකයා කියන හැටියට, යල කන්නයේ වැපිරුම් කල් පහු වෙන විට, ‘පොළොව තිත්ත වන සමයඑළඹෙයි. තිත්ත වුණු පොළොව ලෙඩ කන්දරාවකි.

ගොවීන් කියන හැටියට, යම් වර්ෂයක ඔක්තෝබර් මුල දී වාරි වතුර දෙන්නට නියමිතව තිබුණා නම්, ඇත්තට ම වතුර ලැබෙන්නේ නොවැම්බරයේ මැද හරියේ විය හැකි ය!

ජල කළමනාකරණ ලේකම් කාර්යාල නිලධාරීන් පවසන අන්දමට, කන්නය පටන් ගන්නට වතුර දීම ප්‍රමාද වන්නේ ජලාශවල ධාරිතාවය ප්‍රමාණවත් නො වුණ අවස්ථාවල ය. ඊට පිළිතුරු දෙන ගොවීන් කියන්නේ, ‘මඩ වැඩ ටිකඅහස් දියෙන් කළ හැකි නම්, වැපිරුමේ සිට පැලපත තෙක් වැවේ දියවරින් ජලය සම්පාදනය කළ හැකි බවයි. ඇතැම් වකවානුවක, ඒ අතර අහස් දියෙන් වැව පුරා ගැනීමට ද පුළුවන. මේ කාලසටහන, පූදින ගොයම ඉඩෝරයට හසු නො වන, වී අස්වනු නෙලන සමය වර්ෂාවට හසු නො වන ආකාරයට සකස්කර ගත හැකි ය.

වගා කන්නය කල් පහුවී ජලය දෙන සෑම අවස්ථාවක ම, කෘෂිකර්ම බලධාරීහු ගොවීන්ට එක්තරා කොන්දේසියක් පනවති. ඒ, වාරි ජලයෙන් වගා කරන කුඹුරුවල මාස තුනේ-තුන හමාරේ වී වර්ග පමණක් වගා කරන ලෙසයි. ගොවීන් සලකන්නේ, මෙය වල් තෙල් කොම්පැණිවලටවාසි සැලසෙන කොන්දේසියක් බවයි.

මාස තුනේ තුන හමාරේ වී වැපිරූ කුඹුරුවල, වල් පෑළෑටි යහමින් ඇතිවෙයි. ඒවා ද මාස තුනේ තුන හමාරේ වල් පැලෑටි ය. ඉතින් බොහෝ වියදම්කර වල් තෙල් ගසන්නට සිදු වෙයි. මාස හතරේ හෝ හතර හමාරේ වී වර්ග වගාකර තිබුණේ නම්, වල් පැලෑටි අභිබවා ගොයම නගියි. එවිට වල් මර්දන ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැත. දැන් කන්න දහයක විතර ඔය කොන්දේසිය එනවා. ඉතින් වල් පැලත් අනුවර්තනය වෙනවා’, කවුඩුල්ලේ ජයතිස්ස ගොවි නායකයා කියයි.

ප්‍රමාද වීමෙන් වාරි ජලය ලැබුණු සෑම කන්නයක ම, අක්කරයක කුඹුරක් වෙනුවෙන් ගොවියාට දරන්නට වන අතිරේක වියදම, රුපියල් 5000-20,000 ත් අතර වේ. ඒවා වැය වන්නේ, වල් මර්දනය සහ පළිබෝධක හානිවලට ප්‍රතිකර්ම යෙදීම වෙනුවෙනි.

2020 යල කන්නයේ වගා කාලසටහන අනුව, ඔවුන් අතින් (මහවැලි ජල කළමනාකරණ ආයතනය) ජලය සම්පාදනය කෙරුණු වගා භූමිය හෙක්ටයාර් 1,91,561කි. එය අක්කරවලින් කිව හොත්, 2,87,341ක් පමණ වේ.

වල් මර්දනය සහ පළිබෝධක හානි සඳහා ගොවියා විසින් අක්කරයකට වැය කළ අතිරේක වියදම රුපියල් 5000ක් යයි සිතමු. එවිට ගොවීන් වැය කළ සමස්ත මුදල රුපියල් මිලියන 143. 67කි. ගොවියා විසින් අක්කරයකට වැය කළ අතිරේක වියදම රුපියල් 20,000ක් යයි සිතමු. එවිට ගොවීන් වැය කළ සමස්ත මුදල රුපියල් මිලියන 5746.82කි.

ප්‍රමාද වී වතුර දීමෙන්,  දැවැන්ත කෘෂි රසායන (කෘමි නාශක සහ වල් නාශක) වෙළෙඳපොළක් නිර්මාණය වන බව එයින් පෙනී යයි! ප්‍රමාද වී වතුර ලබා දීමත්, මේ කෘෂිරසායන වෙළෙඳපොළත් අතර කිසියම් සබැඳියාවක් ඇති බවට සැකයක් මතු වේ!

කලට වේලාවට වතුර දෙනවා නම් ඔය ලෙඩත් අඩු වෙනවා. වැවේ වතුරත් ඉතිරි වෙනවා. ඒත් මේක කරන්නේ නෑයයි ගොවීහු චෝදනා කරති.

විශේෂ-

රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රමුඛ පිරිසක්, වාරි ජල ප්‍රමාදය ගැන කරුණු අධ්‍යනය කරමින් සිටින බව සැලයි. ඔක්තෝබර් 15 වැනි දා, පොළොන්නරුව දිස්ත්‍රික්කයට දියවර බෙදා හැරීම ආරම්භ  කරන්නට තීන්දුකර ඇතැයි ද අසන්නට ලැබේ!

(මෙම ලිපිය 2020/10/04 සතිඅග අරුණ පුවත්පතේ පළවිය)

No comments:

Post a comment