ලාංකිකයන් බත් කෑමට ඇලූම් කරන්නේ මන්ද?
අවුරුදු 47,000කට පසුව රහස හෙළිවෙයි!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පෙරදිග රටවල ඇසින් බලන කල, ‘වී සම්පත’ යනු ලොව වෙසෙන මිනිසුන්ගේ කුසගිනි නිවන මහා ධාන්‍ය
භෝගයයි.
වී
ඇටය පැල වීමෙන් ගොයම් ගසත්, එයින් යළි වී අස්වනුත්, වි කොටා පෑහීමෙන් සහලූත්, සහල් පිසීමෙන් ‘බතත්’ ලැබෙයි. ‘බත’ යනු මනුෂ්‍යයන්ට පෝෂණ ගුණයෙන් අනූන, ශරීර ශක්තිය වඩවන, ඔසු ගුණයෙන් ද පිරිපුන් මහා ධාන්‍ය
ආහාරයයි!
‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතිකයින්ගේ ද ප‍්‍රධාන ආහාරය වූයේ ය! වියෙන් උපදින ‘සහල්’, විශිෂ්ඨ ගණයේ
ආහාර වර්ගයක් වන්නේ එතැනිනි!
‘සහල්’
මනුෂ්‍ය
ආහාරයක් හැටියට භාවිතා කිරීමේ ලාංකේය පුරුද්ද බොහොම පැරණි එකකි. එහි ඉතිහාසය, අදින් වසර තිස් හතළිස් දහසක් පමණ ඈතට දිව
යයි.
එය
එතරම් පැරණි යයි හඳුනා ගැනීම,
දකුණු
ආසියාවේ ආදි මානව ජීවිතය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් කළ අලූත් ම සොයා ගැනීමයි! අදින් වසර 37,000කට, 47,800කට පමණ ඉහත, බුලත්සිංහල ‘පාහියන් ලෙනෙහි‘ විසු ආදි මානවයන්, ආහාර පිණිස ‘වල් වී වර්ග’ හෙවත් ‘ඌරු වී වර්ගවල’ සහල් පරිභෝජනය කළ බව නවතම පර්යේෂණවලින්
තහවුරුවී තිබේ!
අදින් වසර 37,000-47,800ක් තරම් ඈත කාලයේ, මැටි බ`දුන් භාවිතාවක් හෝ
ආහාර පිසීමේ ක‍්‍රමයක් නො තිබිණි. එබැවින් එකල පාහියන් ලෙනෙහි විසූවෝ, වනයෙන් නෙලා ගෙන පැමිණි ‘වල් වියැට’ (වල් වී ඇට) අමුවෙන්, තැලීමෙන් හෝ, ගින්නෙන් පළහා ගැනීමෙන් හෝ ආහාරයට ගන්නට ඇතැයි අනුමාන කළ
හැකි ය!
මේ කාරණය, අතිශයින් ම කුතුහලය දනවන්නේ ය. පාහියන් ලෙනෙහි විසූ
ආදි මානවයන් ‘වල් වී’ ආහාරයට ගෙන ඇති බව හෙළිවී ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා
පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ,
මහාචාර්ය
රත්නසිරි පේ‍්‍රමතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙරුණු පර්යේෂණයක දී ය. ඒ සම්බන්ධයෙන් ‘පර්යේෂණ ලිපියක්’, ‘Global Journal of Human
Sciences’ නම් ජාත්‍යන්තර
පර්යේෂණ සඟරාවේ ‘2017/Vol-17-Issue-2
(Ver.1.0)’ වැනි කලාපයෙහි පළකර
තිබේ.
පර්යේෂණ
ලිපිය පළකර ඇත්තේ, පුරාවිද්‍යා පශ්චාත්
උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක, ක‍්‍රිස්
ඕ.
හන්ට්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැනීම්
අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔෂාන් වෙදගේ යන
විද්වතුන් විසිනි. ‘Late
Pleistocene Humans used Rice in Sri Lanka: Phytolith Investigation of the
Deposits at Fahien Rock Shelter’ යන්න,
එහි
මාතෘකාවයි.
ලිපියෙහි සඳහන් වෙන කරුණු අනුව, වල් වී වර්ගවල
‘සහල්’ ආහාරයට ගෙන ඇති පැරණි ම දකුණු ආසියානු රට
ද ලංකාව බව කිව හැකි ය!
මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක ඇතුළු පර්යේෂකයන් මේ
තොරතුරු හෙළිකර ගෙන ඇත්තේ, කළුතර දිස්ත‍්‍රික්කයට
අයත් බුලත්සිංහල ‘පාහියන් ලෙනෙහි’ 2012 වසරේ කළ පර්යේෂණ මගිනි. පාහියන් ලෙන ලංකාවේ
ඉපැරණි ආදි මානව ජනාවාසයකි. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1986-1998 යන වර්ෂවල පටන් වරින්වර එහි කැනීම්
කරමින් පර්යේෂණවල යෙදුණි. අවසන්වරට එහි කැනීම්
කෙරුණේ 2012 වසරේ ය. එය සිදු වූයේ, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන්
වන ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය සෙනරත්
දිසානායක යන මහත්වරුන්ගේ මගපෙන්වීම් අනුව ය. කැනීම් පර්යේෂණය
මෙහෙයවූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාවූ ආචාර්ය
නිමල් පෙරේරා මහතා විසිනි.
2012 වසරේ කැනීමෙන් හෙළිකර ගෙන ඇති තොරතුරු අනුව, පාහියන් ලෙන වූ කලී, ලංකාවේ පැරණි ම ආදි මානව ජනාවාසයයි. එමෙන් ම එය, දැනට දකුණු ආසියාවේ ඇති පැරණිතම ආදි මානව
ජනාවාසය ද වෙයි.
පාහියන්
ලෙනෙහි ආදි මානව ජනාවාසය අදින් වසර 48,000ක් පැරණි බව හෙළිදරව් වූයේ 2014 වසරේ දී ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයේ
කළ කාලනිර්ණ පර්යේෂණ මගිනි.
‘මීට ඉහත ආසියාවේ පැරණිි ම මානව ජනාවාසය ලෙස සැලකුණේ ඉන්දුනීසියාවේ, බෝර්නියෝ දූපත්වල පිහිටි ‘නියා’ ගල්ලෙනයි. දැන් පැරණි ම ජනාවාසය පාහියන් ලෙන බව
ඔප්පු වෙලා.
අපේ
රටේ මානව ඉතිහාසය ඉතාමත් පැරණි එකක්. පාහියන් ලෙනෙහි විසූ මානවයින් තෙත් කලාපීය
පරිසරයේ අභියෝග ජය ගනිමින් ආහාර සපයා ගත් ආකාරය ඔවුන්ගේ වල් වී භාවිතාවෙන් පෙනී
යනවා’, එසේ කියන්නේ ආචාර්ය
නිමල් පෙරේරා මහතා ය.
බුලත්සිංහල පාහියන් ලෙනට ඒ නම ලැබී ඇත්තේ, ක‍්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි සියවසේ දී ‘ෆාහියන්’ නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුවක්, ශ‍්‍රී පාද වන්දනාවේ යන අතරතුර එහි
නවාතැන් ගත් බව කියැවෙන ජන ප‍්‍රවාදයෙනි. එයින් පසුව එය ‘පාහියන් ලෙන’ නමින් ප‍්‍රසිද්ධවී තිබේ. වර්තමානයේ එය
සැලකෙන්නේ, පෘථිවි ඉතිහාසයේ ‘ප්ලයිස්ටෝසීන යුගය’ (අවසන් හිම යුගය) නිමා වීමෙන් පසුව
එළඹුණු ‘මධ්‍ය ශිලා යුගයට’ අයත් මානව ජනාවාසයක් වශයෙනි. මධ්‍ය ශිලා යුගය වූ
කලී, ‘හෝමෝ සේපියන්ස්
සේපියන්ස්’ හෙවත් අප වැනි ‘නවීන මානවයන්’ විසූ වකවානුවයි. ඒ අනුව, අදින් වසර 48,000ක පටන් ම පාහියන් ලෙනෙහි මනුෂ්‍යයන් (නවීන මානවයන්) වාසයකර තිබේ. ලංකාවේ ව්‍යවහාරයට අනුව නම්, ඔවුන් ‘බලංගොඩ මානවයන්’ වෙති.
එකල ආදි මානවයන් ජීවත් වූයේ, වන සතුන් දඩයම සහ ‘වනජ ද්‍රව්‍යය’ (වනයෙන් නෙලා ගන්නා ශාකමය ද්‍රව්‍යය) පාරිභෝජනය කිරිමෙනි. එනම්, දඩ මස් සහ වනයෙන් ලබා ගන්නා ආහාර (අල වර්ග, පලතුරු ගෙඩි වර්ග, ශාක පත‍්‍ර වර්ග ආදී) ආහාරයට ගැනීමෙනි. මේ කියන කාලයේ යම්
භෝගයක් වගා කිරීමේ පිළිවෙතක් හෝ ගොවිතැන් කිරීමක් (කෘෂි කර්මාන්තයක්) නො තිබිණි.
|
දකුණු ආසියාවේ ‘වල් වී සහල්’ ආහාරයට ගෙන ඇති පැරණි ම රට ලංකාව බව, පාහියන් ලෙන ආදි මානව ජනාවාසය ඇසුරෙන්
සොයා ගැනීම, සුවිශේෂ කාරණයකි. එයින් ලංකාවේ ආදි මානව
ජීවිතයට මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳ
ඉතිහාසයට ද ලැබෙන්නේ ප‍්‍රබල ආලෝක ධාරාවකි!
මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා පෙන්වා දෙන අන්දමට, පාහියන් ලෙනෙහි ගැඹුරු පස් ස්තර අතරින් ‘වල් වී’ පිළිබඳ සාධක සොයා ගැනුණේ ද වෙනස් ක‍්‍රමයකට ය. පුරාවිද්‍යා පර්යේෂණවල
දී එය හැඳින්වෙන්නේ ‘ක්ෂුද්‍ර සිලිකාමය
පොසිල (Phytolith හෙවත් microscopic plant silicate bodies)’ පරීක්ෂා කිරීම යනුවෙනි. පර්යේෂණයේ දී, පාහියන් ලෙනෙහි මානව ජනාවාස පස් ස්තර
අතරින් වල් වී වර්ගවල පත‍්‍ර කොටස්, බීජ සහ පොතු ආදියෙහි ‘ක්ෂුද්‍ර සිලිකාමය පොසිල සාධක’ හමුවී තිබේ. ඒවා හමුවී ඇත්තේ වසර
තිස් හතළිස් දහස් ගණන් පැරණි පස් ස්ථරවලිනි. පර්යේෂණය සිදු කෙරුණේ
මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
‘මේවා ගොවිතැන් කරපුවා (Cultivated
rice)නොවෙයි. වනයේ ස්වාභාවිකව ම
හැදුණු ‘වල් වී’ වර්ගයි. පාහියන් ලෙනේ සිටි
මානවයන් ඒවා විශාල ලෙස ආහාරයට ගෙන ඇති බව අපට පෙනී ගියා’ යයි මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා සඳහන් කළේ ය.
සාමාන්‍යයෙන් ‘වල් වී’
හෝ
‘වන වී’ යනු, ලෝකයේ දැනට වගා කරන වී ශාකවල ‘වල් දර්ශයන් (wild
species)’ ය. ඒවා, කාලාන්තරයක් මුළුල්ලේ විකාශනය වීමෙන් අද
පවත්නා ‘වගා කරන වී වර්ග’ (ගෘහස්ථීකරණයට ලක්වූ වී වර්ග) බිහිවුණු බව
පිළිගැනීමයි.
කෘෂි
විද්‍යාඥයන් පවසන අන්දමට, ‘වගා කරන වී’ (Cultivated rice) ආරම්භ වූයේ වල් වී (wild
species)
වර්ගවලිනි. මේ කාරණය තවත් අතකින්
පැහැදිලි කරන්නේ නම්, ‘වල් වී’ යනු දැනට අප ආහාර පිණිස වගා කරන වී වර්ගවල, මුතුන් මිත්තන් ය. ලංකාවේ ජන ව්‍යවහාරය
අනුව, ‘වල් වී’ හැඳින්වෙන්නේ ‘ඌරු වී’ නමිනි.
වී ශාකය අයත් වන්නේ ‘ග‍්‍රැමිනේ’ නම් ‘තෘණ’ කුලයට ය. එයට අයත් වී ශාක විශේෂ
22ක් ඇති අතර, එයින් ලොව ආහාර පිණිස වගා කරන්නේ ‘ඔරයිසා සැටයිවා’ (Oryza sativa) සහ ‘ඔරයිසා ග්ලැබරිනා’ (Oryza glaberina) යන විශේෂ දෙක පමණි. එයින් ‘ඔරයිසා සැටයිවා’ යන වී විශේෂය, ‘ජැපොනිකා’ සහ ‘ඉන්ඩිකා’ යනුවෙන් තවත් කාණ්ඩ දෙකට බෙදී යයි. එයින් ලංකාව, ඉන්දියාව ආදී ආසියාතික රටවල වගා කෙරෙන්නේ ‘ජැපොනිකා’ කාණ්ඩයේ වී වර්ග ය.
‘වල් වී’
හෝ
‘වන වී’ යයි හඳුන්වන ශාක ද අයත් වන්නේ, ‘වගා කරන වී වර්ග’ ඇතුළත් ‘ග‍්‍රැමිනේ’ තෘණ කුලයට ය. ලංකාවෙන් දැනට හඳුනා ගෙන ඇති ‘වල් වී’ වර්ග සංඛ්‍යාව පහකි. ඒවා, ‘ඔරයිසා නිවාරා’, ‘ඔරයිසා රුෆිෆෝගන්’, ‘ඔරයිසා ඉවිනිගරි’, ‘ඔරයිසා මැටිස්’ සහ ‘ඔරයිසා ග‍්‍රැනියුලා’ යනුවෙන් හැඳින්වේ. වල් වී ද ‘ඔරයිසා’ කාණ්්ඩයට ම අයත් වන බැවින් රූපීය, කායික සහ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ අතින් අප වගා කරන වී වර්ගවලට බෙහෙවින් සමාන ය.
‘මෙතැන වැඩියෙන් ම ආහාරයට අරන් තියෙන්නේ ‘ඔරයිසා නිවාරා’ (Oryza nivara) කියන වල් වී වර්ගයයි. ඊට අමතරව. ‘ඔරයිසා රුෆිපෝගන්’ (Oryza rufipogon) කියන වර්ගයත් යම් ප‍්‍රමාණයක් භාවිතා කළ
බවට සාධක හමු වුණා’, මහචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක
මහතා පැවසුවේ ය.
වී වගාවේ ආරම්භය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධව ඇති කරුණු අනුව, ලෝකයේ වී ගොවිතැන ආරම්භවී ඇත්තේ අදින් වසර
6000කට පමණ ඉහත දී ය. එය සිදුව ඇත්තේ චීනයේ
සහ ඊසාන දිග ඉන්දියාවෙනි. ඉක්බිති වී වගාව ලෝකය පුරා පැතිර ගිය බව
සාමාන්‍ය පිළිගැනීමයි. ලංකාව සම්බන්ධයෙන් බලන කල, මුල් ම වී වගාවන් පැතිර තිබුණේ, මල්වතු ඔය, දැදුරු ඔය සහ කලා ඔය ආදී වියලි කලාපීය ගංගා නිම්න භූමි
මුල්කර ගනිමිනි.
කෙසේ වෙතත්, ලංකාවේ වී ගොවිතැන පිළිබඳ පැරණිතම පුරාවිද්‍යා සාධකය හමු
වන්නේ 1969 වසරේ අනුරාධපුරයේ
ඇතුළු නුවරිනි.
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා කළ කැනීම්වලින්
අදින් වසර 2900ක් (ක‍්‍රි. පූ. 900-600) පැරණි වී වගා සාධක හමු
විය.
එහෙත්
පාහියන් ලෙනෙහි පුරාවිද්‍යා පර්යේෂණ මගින් සොයා ගෙන ඇති වල් වී පිළිබඳ සාධක, අනුරාධපුරයේ වී වගා සාධකවලට වඩා අවුරුදු 45,000ක් පමණ පැරණි ය!
ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා
කියන්නේ අපූරු කතාවකි!
‘වී ගොවිතැනේ ආරම්භය ගැන මෙතෙක් දැන සිටි කාරණාවලට වඩා
දෙයක් මෙතැන තියෙනවා. මං හිතන විදිහට, අපේ ආදි මානවයන් වසර තිස් හතළිස් දහසක් තිස්සේ ‘වල් වී වර්ග’ පරිභෝජනය කරලා තියෙනවා. ඒ තරම් විශාල කාල
පරාසයක් මුළුල්ලේ ඔවුන් වල් වී වර්ග සමග ගෙන ගිය සම්බන්ධතාවය ඔස්සේ, වර්තමානයේ අපි ‘වගා කරන වී වර්ග’ (Cultivated rice) බිහි වෙන්නට ඇතැයි මා සිතනවා. ඒ අනුව, ‘වගා කරන වී වර්ග’ පිටින් හඳුන්වා දුන්නා ය කියන අදහස ට එකඟ
වෙන්න බෑ.
අපේ
ආදි මුතුන් මිත්තන් විශාල කාල පරාසයක් මුළුල්ලේ ‘වල් වී වර්ග’ සමග මහා පරිශ‍්‍රමයක් දරලා තියෙනවා. එයින් වර්තමාන වී වර්ග
නිර්මාණය වෙන්න ඇති’
‘පහුගිය කාලයේ අපි ඉන්දියාවේ චෙන්නායි නුවරට නුදුරින් ‘අට්ටිරාම්පක්කම්’ ප‍්‍රදේශයේ ප‍්‍රාග් ඓතිහාසික මානව
ජනාවාසයක කැනීම්වලට සහභාගි වුණා. ඒක ගල් ආයුධ විතරක් හමුවන (Early Acheulian occupation) එළිමහන් ජනාවාසයක්. එය දළ වශයෙන් අවුරුදු
මිලියන එකහමාරක් පමණ පැරණියි. අපට එතැනිනුත් ‘වල් වී වර්ග’ පිළිබඳ සාධක ලැබුණා. මේ කාරණය අපි ‘ELSEVIER-Vol-14/2017-Aug./Journal
of archaelogical science report’
නම්
සඟරාවේ පර්යේෂණ ලිපියක් හැටියට පළ කළා. මේක සුවිශේෂයි. මොකද, අවුරුදු මිලියන එකහමාරකට ඉහත කාලේ ලංකාව
හෝ ඉන්දියාව කියලා රටවල් තිබුණේ නෑ. ඒ කාලේ වර්තමාන ලංකා භූමිය සහ ඉන්දීය
භූමිය එකම ගොඩ බිමක්. අපේ රටවල් අතරට මුහුද ඇවිත් තියෙන්නේ අදින් වසර 7000කට ඉහත දීයි. වල් වී පිළිබඳ මේ
පැරණි සාධකවලින් කියැවෙන කාරණය බොහොම වැදගත්. මම හිතන්නේ ලෝකයේ ‘වී භෝගය’ පිළිබඳ මුල් ම ජන උරුමය ගොඩ නැගෙන්නට ඇත්තේ දකුණු
ආසියාවේ පහළ ප‍්‍රදේශ හෙවත් දකුණු ඉන්දියාවේ සිට පහළට, ලංකාව තෙක් පැතිරෙන මානව ජනාවාස භූමිවලයි!’
මේ තොරතුරු අනුව, ලංකාවේ ‘වී ගොවිතැනට’ මෙන්ම,
ලාංකිකයන්
‘බත් කෑමට ඇලූම් කිරීමේ
පුරුද්දට’ ද ඉතා දිගු ඉතිහාසයක්
ඇති බව පෙනී යයි. ‘වල් වී වර්ග’, වර්තමානයේ වගා කරන වී වර්ග (Cultivated
rice) දක්වා විකාශනය වී ඇත්තේ නිකම්ම නොවේ. පාහියන් ලෙනෙහි ආදි
මානව ජනාවාසය පැවති වසර දහස් ගණනක ඈත කාලයේ පටන් අපේ මුතුන් මිත්තන් දුක සේ දැරූ
මහා පරිශ‍්‍රමයෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි!
(මෙම ලිපිය 2019.02.17 වැනි ඉරිදා අරුණ
පුවත්පතේ පළවිය.)
+++++++++++
ReplyDeleteඅරුත්බරයි!
ReplyDelete