Followers

Saturday, 13 October 2018

නිවුඩු බත අත්හැර ලෙඩ-දුක් වැළඳ ගැනීම


නිවුඩු බත අත්හැර ලෙඩ-දුක් වැළ ගැනීම
මෙලෝ ගුණයක් නැති සම්බා සහල් මිලෙන් ද අධිකයි!




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අපේ රටේ සහල් වෙළෙඳාම් කරන උදවිය වැඩිපුර ම කැමැත්තක් දක්වන්නේ, තම වෙළෙසැල්වල පොලිෂ් කළ සහල් තොග පිටින් ගබඩාකර ගන්නට ය. රටවැසි මහජනතාව අතරපොලිෂ් කළ සහල් පරිභෝජනය කිරීමේ රැල්ලක් පැතිර යමින් තිබීම, ඊට හේතුවයි. වර්තමාන පාරිභෝගිකයන් ගෙන් වැඩි දෙනෙක් ඉල්ලන්නේ ම, හො සුදට ඔප දැමූලස්සන පෙනුමක් ඇති සුදු සහල් ය. ඔවුන් රතු සහල් වුව මිල දී ගන්නේ,රතු පැහැය නැතිවන තරමට පොලිෂ්කර ඇති නම් පමණකි! රතු සහලේ බත බෙහෙවින් ගුණදායක ය. දැන් එය ද විකිණෙන්නේ නිවුඞ්ඩ ඉවත්වෙන තරමට පොලිෂ් කරලා ය.  මෙතෙක් නාගරිකව පැවති පොලිෂ් කළ  සහල් පරිභෝජන නැඹුරුව, මෑතක පටන් රටේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද පැතිර ගොස් ඇති ආකාරයක් දිස්වෙයි.  පොලිෂ් සහල් යයි නම් කළ සහල් වර්ග, දැන් බොහොමයක් වෙළෙසැල්වල ද දක්නට ලැබේ. අද වැඩි දෙනෙක් ඉල්ලන්නේ මෙසේ ඔප දැමූ සහල් ය.

දැන් දැන් බොහොම දෙනෙක් බලන්නේ බතෙහි ඇති රස-ගුණ නොවේ. සහලෙහි මෙන් ම ඉන් පිසෙන බතෙහි ඇති ලස්සන . ලස්සන සහල්වල බත සුමුදුයි (මයිල්ඩ් සහල්!) යන්න ඔවුන්ගේ ඇදහීමයි. පොලිෂ් කළ සහල් පරිභෝජනය කිරීමේ රැල්ලක් පැතිර යාමෙන් පෙනී යන්නේ ලංකාවේ මිනිසුන් කාබෝහයිඩ්‍රේට් හෙවත්   පිෂ්ඨධාතු බහුලව ඇති ආහාර හඹා යමින් සිටින බවයි. ඔවුන් බතෙහි ගුණාත්මකභාවය අත්හැර දමා,  පෙනුමින් ලස්සන සහල් පරිභෝජනය කිරීමේ රැල්ලකට නැඹුරුව සිටීම, අතිශයින් ම අවිචාරවත් භාවිතාවක් සේ සැලකිය හැකි ය. එසේ කියන්නට සිදුවී තිබෙන්නේ, එයින්  දියවැඩියාව ඇතුළු තවත් ලෙඩ රෝග ගණනාවකට ම නො මසුරුව අත වනන බැවිනි!

බත’, ලංකාවාසීන්ගේ ප‍්‍රධාන ආහාරයයි. රටවැසි ජනතාවගේ කුසගිනි නිවෙන්නේ ද, ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 40ක් ම ලැබෙන්නේ ද බතේ මහිමයෙනි. එසේම, දෛනික කැලරි ශක්ති අවශ්‍යතාවයෙන් සියයට 46ක පමණ කොටසක් ද එයින් සම්පූර්ණ වෙයි.  බතින් ලැබෙන  පෝෂණය නිසා මනුෂ්‍යයන්ට යහපත් සෞඛ්‍යය මෙන් ම ශරීර ශක්තිය ද නො අඩුව ලැබේ. රට බතින් බුලතින් සරුසාර කිරීම, අතීත රජදරුවන්ගේ සමයේ පටන් ම රාජ්‍ය පාලකයන්ගේ ද ප‍්‍රමුඛතම කාර්යභාරය විය.  බත, පුරාණයේ සිට ම මනුෂ්‍ය ජීවිතයට අතිශයින් වැදගත් දෙයක් සේ සැලකිණි.

කරුණු එසේ වුවත්, පොලිෂ් කළ සහල් වැළදීමෙන් මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් හෝ වෙනයම් පෝෂණීය සංඝටක ලැබේ යයි සිතීම උගහට ය! රතු සහල් හෝ සුදු සහල් වේවා,  ඕනෑම සහලක අඩංගු පෝෂණ ගුණ සම්භාරය පිහිටන්නේ සහලේ ඇති කුරුට්ට (Bran) හෙවත් නිවුඩ්ඩේ .  නිවුඩු සහල් යයි කියන්නේ දහයියා පොත්ත පමණක් ඉවත් කළ සහල්වලට ය. රතු සහල් නිවුඩ්ඩේ ඇති ගුණ සම්භාරය ඉතා ඉහළ ය. සහල් පමණට වඩා පාහින (පොලිෂ් කරන) විට, එහි කුරුට්ට හෙවත් නිවුඞ්ඩ ඉවත්ව යයි. ඉන් පසුව ඉතිරි වන්නේ කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨධාතු බහුලව ඇති, අනෙකුත් පෝෂණීය සංඝටකවලින් හීන,  සහල් ඇටයක් පමණි. පමණට වඩා පාහින ලද සහල් පෙනුමින් නම් අලංකාර ය. දිලිසෙන-සිහින් පෙනුම විනා, ඒවායෙහි ඇති මෙලෝ ගුණයක් නැත්තේ ය. මේ බව දැන හෝ නො දැන, වැඩි දෙනෙක් ඉල්ලන්නේ ම හො සුදට පොලිෂ් කරන ලද සහල් ය! පොලිෂ් නො කළ සහල් කටට ප‍්‍රිය නැති,  රළු ස්වභාවයෙන් යුක්ත වන බැවින් කෑමට අපහසු බව ඔවුන්ගේ මැසිවිල්ලයි.

සාමාන්‍යයෙන් සහල් ඇටයක වැඩිපුර ම, එනම් සියයට 70-76ක් පමණ ඇත්තේ කාබෝහයිඩ්‍රේට්හෙවත් පිෂ්ඨධාතු. තවත් සියයට 6-9ක පමණ ප‍්‍රමාණයක් ප්‍රෝටීන් ය. කාබෝහයිඩ්‍රේට්පිහිටා තිබෙන්නේ සහල් ඇටයේ කුරුට්ට සහිත ස්ථරයෙන්ඇතුළත ය. එහෙත් සහල් ඇටයක ප්‍රෝටීන, යකඩ, සින්ක්, තන්තු, මේදය සහ ඇමයිලෝස් ආදී පෝෂණීය සහ ඖෂධීය සංඝටක සියල්ල පිහිටන්නේ සහල් කුරුට්ටේ. නිවුඞ්ඬේ. සහල් හො සුදට පොලිෂ් කිරීමේ දීඒ සියල්ල ඉවතට යයි.

ලංකාව දැන් කලක් තිස්සේ ම, බෝ නො වන රෝගවලින් පෙළෙන රටක් බවට පත්ව තිබේ. දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, හෘද රෝග, පෝෂණ ඌණතා රෝග (නීරක්තිය වැනි) සහ අධි පෝෂණය මුල්කර ගෙන වැළෙ‍ෙඳන රෝගාබාධ තත්ත්වයන් ඒ අතර අතර සුලභ ය. මෙම රෝග තත්ත්වයන් මහජනයාගේ ආහාර රටාව සමග බැඳී පවතියි.

මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද මහතා ඇතුළු පිරිසක් 2005 වසරේ කළ සමීක්ෂණයකට අනුව, අපේ රටේ ජනගහනයෙන් සියයට 11.5ක පිරිසක්  දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් (Type 2 Diabetes) පෙළෙමින් සිටිති. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2014 වසරේ නිකුත් කළ National Survey  on Self-Reported Health in Sri Lanka නම් වාර්තාවේ දැක්වෙන ආකාරයට, ලංකාවේ ජනගහනයෙන් සියයට 17.8ක් නිදන්ගත රෝගවලින් පෙළෙති. ඉන් සියයට 30.4ක් ම දියවැඩියා රෝගීන් ය. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කළ ANNUAL HEALTH STATISTICS-2016
නම් වාර්තාවට අනුව, ලංකාව දියවැඩියා රෝගයට ගොදුරුවූ රටකි.  2009 වසරේ අපේ රටේ රජයේ රෝහල් ආශ‍්‍රිතව වාර්තා වුණු දියවැඩියා රෝගීන්සංඛ්‍යාව, ජනගහනයෙන් ලක්ෂයකට 343.9කි. 2016 දී එය පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 414.5ක් දක්වා ඉහළ නැග තිබේ. රටේ සමස්ත ජනගහනයෙන් සියයට 15කට ආසන්න පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරුව සිටින බව ද වරින්වර අසන්නට ලැබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ Sri Lanka Demographic and Health Survey-2016  නම් වාර්තාවේ දැක්වෙන අන්දමට, දැන් රටේ සමස්ත ජනගහනයෙන් සියයට 2.2ක් හෘද රෝගීන් ය. සියයට 8.2ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙති. රුධිරයේ අධික කොලෙස්ටරෝල් තත්ත්වයට ගොදුරුව සිටින පිරිස සියයට 5.4කි. ජනගහනයෙන් සියයට 5.7ක් දියවැඩියාවෙන් පෙළෙන්නෝ ය!

බෝ නො වන රෝග තත්ත්වයන් ඉහළ නැගීම සම්බන්ධයෙන්, මහජනතාව ගන්නා ආහාරපාන ද, ඔවුන්ගේ ආහාර ඇබ්බැහිකම් ද බලපාන බව රහසක් නොවේ. වෛද්‍යවරුන් නිතර ම කියන්නේ, දියවැඩියා රෝගීන් හැමවිට ම පාහේරතු බත් ආහාරයට ගත යුතුයි, යනුවෙනි.  එහි අරුත වන්නේ රතු සහල හෙවත්රතු හෝ දුඹුරු පැහැති කුරුට්ට සහිත සහලින් පිසූ බත, රුධිරයේ සීනි මට්ටම (ග්ලූකෝස්) ඉහළ නැගීම පාලනය කරන බව ය. එයින් ද වඩා සුදුසු තැම්බූ රතු සහල් . තැම්බූ සහල් කොයි කාහටත් බොහොම ගුණදායක ය.

දේශීය පාරම්පරික වර්ගවල රතු හෝ දුඹුරු පැහැති සහල්වල බතෙහි පෝෂණීය සහ ඖෂධීය  ගුණ ඉතාමත් ඉහළ බව, 2000 දශකය අග භාගයේ අනාවරණය විය. , කොළඹ  කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණ ඔස්සේ ය. ඒවායෙහි ඖෂධීය ගුණ අතර රුධිරයේ සීනි පාලන ගුණ ද යහමින් තිබිණි. පර්යේෂණය පැවැත්වූයේ එවකට කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබවූ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙන්, එහි  පර්යේෂිකා ආචාර්ය කාංචනා අබේසේකර මෙනවියයි. රුධිරයේ සීනි පාලන ගුණය සම්බන්ධයෙන් ඉහළම තත්ත්වයක් පෙන්නුම් කෙරුණේ ‘මසුරන් නමැති දේශීය වී වර්ගයේ බතින් පිසෙන සහලයි.

මහජනයාගේ සහල් භාවිතාව මහ පුදුමාකාර එකකි. කොතෙක් ගුණදායකයි කීව ද, ඔවුන් අතර වැඩියෙන් ම ජනප‍්‍රිය සුදු පැහැති සම්බා සහල් වර්ග ය. ඔවුන් සියලූම උත්සව අවස්ථාවලට බත සම්පාදනය කරන්නේ ද  සම්බා සහලෙනි. සම්බා සහල් මිලෙන් ද වැඩි ය. ඟුලටත් සම්බා බත් ය. දානෙටත් දන්සැලටත් සම්බා බත් ය. නෑදෑ හිතවතුන් පැමිණි අවස්ථාවටත් සම්බා බත් ය. හෝටල්වල ද මේ ආනිසංසයම ය. ඔවුන් උයන්නේ ම සම්බා සහලේ බත් ය. බත් පැකට් ව්‍යාපාර කරන අය ද අලෙවි කරන්නේ සම්බා බත් ය.  මෑතක පටන්කීරි සම්බා නමින් සහල් වර්ගයක් ප‍්‍රචලිත වෙමින් තිබේ. එය බී. ජී. -360 නම් දෙමුහුන් වියෙන් උපදින සහලයි. එහි සහල් ඇටය සිහින් ය. දිගටි ය. කීරි සම්බා  මිලෙන් ද අධික ය. එහි ඇති මෙලෝ ගුණයක් නැත. එහෙත් එහි බත වැළඳීවිලාසිතාවක් ඳු.

වඩා බරපතල කාරණය වන්නේ සම්බා වර්ග සියල්ලම පාහේ කාබෝහයිඩ්‍රේට් (පිෂ්ඨධාතු) රජවරුන් වීම ය. කීරි සම්බා ද එසේ ය. රතු සහල්වලට සාපේක්ෂව, ඒවායෙහි තන්තු, යකඩ, සින්ක්, ප්‍රෝටීන සහ  ප‍්‍රති ඔක්සිකාරක ගුණ ආදිය හීන ය. සම්බා වර්ගවල සහල් ඇට කුඩා ය. එබැවින් කන්නට සිදුවන බත් ප‍්‍රමාණය ද වැඩි ය. කුස ඉක්මණින් පිරෙයි. එහෙත් ඉක්මණින් ම යළි කුසගිනි දැනෙයි. සමාජය ඉහළින් ම පිළිගන්නා සම්බා බතෙහි අනුසස් එබඳු.

බහුතරයක් මිනිස්සු  රතු බත් අත්හැර දමා, මෙලෝ ගුණයක් නැති සම්බා සහ පොලිෂ් කළ සහලේ බතට ඇබ්බැහි වෙමින් ලෙඩ දුක් වැළ ගැනීම මහත්  ඛේදවාචකයකි!
(මෙම ලිපිය 2018/08/05 දින සැබෑ පුවත්පතේ පළවූවකි)








5 comments:

  1. මෙවැනි වටිනා අදහස් තේරුම් නොගෙන සෝබනය ලාංකික ජන ජීවිතය තුල කිඳාබැස ඇත.ලොකු කාරෙකේ ජේත්තුවට ඇවිත් රෑ අවන්හලෙන් එක ෆ්‍රියිඩ් රයිස් එකක් අරන් ජෝඩුවම කන පොශ් සමාජයට ඕනෑ දේ තමයි ලැබෙන්නේ.

    ReplyDelete
  2. හොඳ ලිපියක්, Followers ගැජට් එකත් එකතු කරන්න, එතකොට කට්ටියට Follow කරන්න පුලුවන්

    ReplyDelete
  3. අජිත් සහ ලලිත්-කොමෙන්ටුවලට ස්තුතියි. followers එකතු කරන්නම්.

    ReplyDelete
  4. අවබෝධය දියුණු වේවා ! ...

    ReplyDelete