රසායනික කෘමිනාශකවලට අනුවර්තනය වුව ද
දේශීය පාරම්පරික වී වර්ගවලට පැරදුණු
දුඹුරු පැල කීඩෑවෝ!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ගෙවී ගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ
වී ගොවීහු මහත් ව්‍යසනයකට මුහුණ දුන්හ. ව්‍යසනය ඇති වූයේ, මෙවර (2018) යල කන්නයේ ඔවුන්ගේ වී
වගාවන් අතිශය දරුණු ‘දුඹුරු පැල කීඩෑ’ වසංගතයකට ගොදුරු
වීමෙනි. දුඹුරු පැල කීඩෑවුන්
මර්දනය සඳහා කෘෂිකර්ම නිලධාරීන් නිර්දේශ
කළ කිසිදු රසායනික කෘමිනාශකයකට, වසංගතය පාලනය කරන්නට හැකි වූයේ නැත! පොළොන්නරුව පමණක් නොව, අම්පාර දිස්ත‍්‍රික්කය
ද දුඹුරු පැල කීඩෑ වසංගතයට ගොදුරු විය. කොතෙක් කෘෂි රසායන
යෙදුව ද, අම්පාරේ ද එය පාලනය
කරන්නට නො හැකි විණි!
ලංකාවේ වැඩි දෙනෙක්, ලොව හරිත විප්ලවය ඇරඹුණු 1960 දශකයේ පටන් ‘නවීන රසායනික ගොවිතැන’ හිස් මුදුනේ තබා ගෙන
සිටින්නෝ ය. ඔවුන්ට අනුව එය ‘සුපිරි ගොවිතැනකි’. එය ඉහළින් ම පිළිගන්නා
උදවිය දැන් තුෂ්ණිම්භූතවී සිටිති. යල කන්නයට වගා කෙරුණු
රටේ වියලි කලාපීය වී වගාවන්, ‘දුඹුරු පැල කීඩෑ වසංගතයෙන්’ බේරා ගන්නට නො හැකි
වීම, ඊට හේතුවයි! කීඩෑ වසංගතය බලපෑ
පෙදෙස්වල වගාකර තිබුණේ ද,
නව වැඩි දියුණු කළ දෙමුහුන් වී ප‍්‍රභේදයන් ය. දුඹුරු පැල කීඩෑවුන්
එක රැයට දෙකට ඒවා වනසා දමද්දී, ‘නවීන රසායනික ගොවිතැනට’ උන් පාලනය කිරීමට හැකි වූයේ නැත.
‘අලි මදිවාට හරක්’ යයි කීවා සේ, එයින් තවත් අලූත්
කාරණයක් ද ඉස්මත්තට ආවේ ය. කලකට ඉහත, ‘නවීන රසායනික ගොවිතැන’ විසින් පිළිකෙව් කළ
ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ග, කිසිදු අතුරු ආන්තරාවකින් තොරව දුඹුරු පැල කීඩෑ වසංගතය ජය ගැනීම, ඒ අලූත් කාරණයයි.
පොළොන්නරුවේ ගොවීන් බහුතරයක් දෙනා මෙවර වගා කළේ, නව වැඩි දියුණු කළ
දෙමුහුන් වී වර්ග (බී. ජී. වී වර්ග) ය. සුළු පිරිසක් පමණක්
සුවඳැල්, රත්දැල්, සුදු හීනැටි, පච්චපෙරුමාල් ඇතුළු
පැරණි දේශීය වී වර්ග වස විසෙන් තොරව වගා කරන්නට කටයුතු කළහ. පැරණි වී වර්ග වගා කළ
ඔවුන්ගේ කුඹුරුවලට දුඹුරු පැල කීඩෑවුන් ගෙන් හානි වූයේ නැත. එහෙත් නවීන යයි ද, අතිශයින් ම විද්‍යාත්මක
යයි ද, විශ්මිත යයි ද
පුරසාරම් තැවරූ රසායනික ගොවිතැනේ බල මහිමය, දුඹුරු පැල කීඩෑවාට පරාජය වූයේ නො සිතූ පරිද්දෙනි. ‘දේශීය පාරම්පරික වී
වර්ග’ වස විසෙන් තොරව වගා කළ
ගොවීන් හැරුණු විට, තවත් පිරිසක් ද කීඩෑ
වසංගතය ජය ගත්හ. ඔවුන් නම්, රසායනික ‘යූරියා පොහොර’ නො දැමූ හෝ අඩුවෙන්
භාවිත කළ ගොවීන් ය.
දුඹුරු පැල කීඩෑ උවදුරින් හානියට පත් වී වගා භූමි ප‍්‍රමාණය
දළ වශයෙන්, හෙක්ටයාර් 80,000ක් (අක්කර දෙලක්ෂයක්) පමණ වෙතියි දැන ගන්නට
තිබේ. ඒවා පීදෙන්නට ඔන්න
මෙන්න බණ්ඩි ගොයම ය. දැන් ඉතින් එයින් වී අස්වැන්නක් ලැබේ යයි සිතීම උගහට ය. මෙම තත්ත්වය, හරිත විප්ලවාදී නවීන
කාෂිකර්මය තුරුලේ ගෙවුණු වර්ෂ පණස් අටක කාලය තුළ ලංකාවෙන් වාර්තා වුණු ‘විශාලතම පරාජය’ යයි සැලකිය හැකි ය. එය කොතෙක් ‘සුපිරි පරාජයක්’ ද යත්, කීඩෑවුන් මර්දනය කිරීම
සඳහා නිර්දේශිත කිසිදු රසායනික කෘමිනාශක
තෙලකට උන් මර්දනය කරන්නට හැකි වූයේ නැත!
එසේම, කීඩෑවුන් මර්දනය සඳහා රසායනික කෘමිනාශක වැඩි වැඩියෙන් හෝ
අධි මාත‍්‍රාවෙන් භාවිත කළ ද කීඩෑවුන් නො මළහ.
පොළොන්නරුවේ ගොයමට
මෙවර ‘පුරුක් පණුවන්’ ද පැමිණියහ. උන් මර්දනය කිරීම සඳහා රසායනික කෘමිනාශක
යෙදූ ගොවීන්ට ද කීඩෑ
හානියෙන් ගැල වෙන්නට බැරි විය. එහෙත් හිතේ හයියෙන් සහ
අතේ පළපුරුද්දෙන් ‘ගෙදර දී සෑදූ’ යම් යම් දියර වර්ග
කුඹුරුවලට යෙදූ
ගොවීන් ද කීඩෑවුන්ට පරාජය වූයේ නැත! දේශීය පාරම්පරික වී
වගාවන්ට පුරුක් පණුවා ගෙන් හානි වූයේ ද නැත.
‘නවීන රසායනික
ගොවිතැනෙහි’ අනුසස් මහත් යයි කියන
උදවිය, නිරන්තරයෙන් ම දේශීය
පාරම්පරික වී වර්ග මෙන්ම,
වස විසෙන් තොර පාරම්පරික ගොවිතැන් ක‍්‍රම ද ඵලදායක නැතැයි කියා පිළිකෙව්
කරති. ඒවාට ගර්භා කරති. එහෙත් ඔවුන් පිළිකෙව්
කළ දේශීය පාරම්පරික වී වර්ග, අද දුඹුරු පැල කිඩෑවුන්ට පරාජය කළ නො හැකිව තිබෙන්නේ ය!
ලංකාවේ ප‍්‍රධාන වී වගා දිස්ත‍්‍රික්ක අතරින්
පොළොන්නරුවට හා අම්පාරට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒවායෙහි වැඩි කුඹුරු ප‍්‍රමාණයක්
තිබීම ඊට හේතුවයි. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, සාමාන්‍යයෙන් යල
කන්නයකට වී වගා කෙරෙන බිම් ප‍්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර් 48,882ක් පමණ වේ. අම්පාර දිස්ත‍්‍රික්කයේ, යල කන්නයකට වගා කෙරෙන
කුඹුරු ප‍්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර් 46,302ක් පමණ වෙයි. කීඩෑ උවදුර නිසා
අම්පාර දිස්ත‍්‍රික්කයේ ගොවීහු සිය බණ්ඩි ගොයම් සහිත කෙත් බිම් ගිනි තැබූහ. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ
සම්පූර්ණ හානියට පත් හෙක්ටයාර් 40,000ක පමණ (අක්කර ලක්ෂයක පමණ) පීදෙන ගොයම අත්හැර
දැමූ බව ද අසන්නට ලැබිණි!
‘දුඹුරු පැල කීඩෑවුන්’ (Brown
planthoper/Nilaparvata lungens) යනු, ගොයම් ගස උරා බොමින්
එහි පහළ කොටසේ ජීවත් වන පියාපත් සහිත කුඩා කෘමි විශේෂයකි. උන් බිත්තර දමන්නේ
ගොයම් ගසේ පත‍්‍ර නාරටියේ සහ පත‍්‍ර කොපුවේ
ය. එක් කෘමියෙක් වරකට දමන
බිත්තර සංඛ්‍යාව 300ක් පමණ වේ. උන් ඉතා සීග‍්‍රයෙන් බෝ වෙයි.
ගොයම මතුපිටින් නිරීක්ෂණය කළ ද, එහි පහළ කොටසේ සිටින
දුඹුරු පැල කීඩෑවුන් එක්වර ම පෙනෙන්නේ ද නැත. බොහෝ ගොවීන් උන්ගේ
හානිය හඳුනා ගන්නේ ගොයම කහ පැහැ ගැහී, වියැලී, මැරී යන්නට පටන්ගත් විට ය. ගොයම වියලී මැරී යන්නේ, කිඩෑවුන් විසින් ගොයම්
ගසසෙහි යුෂ උරා බීම නිසා ය. වසංගත තත්ත්වයට පත්වූ
විට උන් එක් රැයට කුඹුරු හෙක්ටයාර් සිය ගණන් වුව විනාශකර දමති. බොහොමයක් අවස්ථාවල, කීඩෑවුන්ගේ හානිය
ඉස්මතු වන්නේ පීදෙන්නට ඔන්න මෙන්න තත්ත්වයේ බණ්ඩි ගොයමට ය. එයින් පසුව ඒවායෙහි
ගොයම් කරල් පීදෙන්නේ නැත. ඉතින් අස්වැන්නක්
ලැබෙන්නේ ද නැත!
පොළොන්නරුව, කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස), බොහෝ කලක් තිස්සේ
දේශීය පාරම්පරික වී වගාවෙහි යෙදෙන ගොවියෙකි. ගොවි නායකයෙකි. ඔහු පවසන අන්දමට, පොළාන්නරුව දිස්ත‍්‍රික්කයේ
දුඹුරු පැල කීඩෑ වසංගතයක් ඇති වීම කෙරෙහි කාරණා ගණනාවක් ම බලපෑවේ ය.
‘මෙදා පාර අපට වතුර
දෙන්න නියමිතව තිබුණේ මාර්තු සහ අප‍්‍රියෙල් යන (සිංහල මාස ක‍්‍රමයට
බක් මාසයේ) මාසවලයි. ඒක තමයි යල කන්නය පටන්
ගන්න හොඳම කාලය. ඒත් මැයි මාසේ 26 වැනි දා තමයි අපට (මින්නේරියට) වතුර දුන්නේ. එතකොට වැඩ කෙරෙන්නේ
ජුනි මාසේ. වෙනදා දින දහයක කාල පරාසයක්
තුළ මුළු වැව් පද්ධතියට ම එක සැරේට වතුර දුන්නා. මෙදා පාර වතුර දුන්නේ
මාසයක පමණ කාල පරතරයක් ඇතුවයි. එහෙම කාලේ පහුවෙලා වගා
කළාම කෘමි හානි වැඩි වෙනවා’,
ජයතිස්ස මහතා කියයි.
නියමිත වේලාවට වතුර නො දීම, ගොයමට කීඩෑ වසංගත හට
ගැනීම සහ කෘෂි රසායන වෙළෙන්දන් අතර යම් ‘අත යට සම්බන්ධයක්’ තිබෙන්නට ඇති දැයි දැන් ගොවීහු සැක කරති. වාරි ජලය ප‍්‍රමාද
වීමෙන් හැබෑවට ම වාසිය ලැබී ඇත්තේ කෘෂි
රසායන වෙළෙන්දන්ට ය.
කීඩෑ හානිය කෙරෙහි බලපෑ අනෙකුත් හේතූන් අතර, ඉදිරියෙන් ම තිබෙන්නේ
රසායනික යූරියා පොහොර ය. ගොවීන් බොහොම දෙනෙක්
තම ගොයමේ ‘නිල්ල ප‍්‍රමාණවත් නො
වෙතියි’ සිතා යූරියා පොහොර
වැඩි වැඩියෙන් භාවිත කළහ. තම ගොයම ඉක්මණට
වර්ධනයකර ගන්නට ද යූරියා දැමුහ. එහෙත් දුඹුරු පැල
කීඩෑවුන් සහ පුරුක් පණුවන් ද ගොයමෙහි නිල්ල ප‍්‍රිය කරන බව ඔවුන්ට අමතක විය. යූරියා වැඩිවන විට
ගොයමෙහි ‘මාංශල ගතිය’ ද වැඩි වෙයි. එයින් ඇති වන්නේ, දුඹුරු පැල කීඩෑවුන්
සහ පුරුක් පණුවන් ආදී පළිබෝධකයන්ට ‘ෆුඩ් සිටියක් විවෘතකර දුන්නාක්’ බඳු තත්ත්වයකි!
කීඩෑ හානිය කෙරෙහි බලපෑ අනෙකුත් හේතූන් අතර, රසායනික වල් නාශක සහ
කෘමිනාශක අධිකව භාවිතා කිරීම නිසා හටගත් තත්ත්වයන් ද වෙයි. බොහොමයක් ගොවීන් වපුරා
දින දාහතරෙන් වල් නාශක යොදති. ඉන් පසුව ‘රෝගයක්’ ඇතත් නැතත්
කෘමිනාශකයක් ද යොදති. එයින් සිදු වන්නේ පළිබෝධක කෘමි සතුන් ඒවාට ඔරොත්තු
දීමේ ගුණයක් (අනුවර්තනය වීමක්) ඇතිකර ගැනීමයි. අනෙක, කීඩෑවුන් ආහාරයට ගන්නා
‘කීඩෑ මරුවා’ බඳු ගොයමෙහි සිටින
හිතකර සතුන් (විලෝපිකයන්) විනාශ වීමයි. එය ද කීඩෑ වසංගතය උග‍්‍ර
වීමට බලපැ කාරණයකි.
පොළොන්නරුවේ ගොයමට මුලින් ආවේ පුරුක් පණුවන් ය. උන්ගේ හානිය නිසා
ගොවීන්ට ඉතිරි වන්නේ ‘සුදු කරල්’ හෙවත් බොල් කරල් ය. එබැවින් ගොවීහු
කෘමිනාශක වර්ග යෙදූහ. එයින් පුරුක් පණුවන්
නම් පාලනය විය. එහෙත් ගොයමෙහි සිටි
හිතකර සතුන් මියෑදී, දුඹුරු පැල කීඩෑවුන්ට
පහසුවෙන් ව්‍යාප්ත වන්නට අවස්ථාව සැලසුණි. එය ද කීඩෑ උවදුර වසංගත
තත්ත්වයට පත් වන්නට බලපෑවේ ය. එහෙත් දේශීය පාරම්පරික
වී වගාවන්ට නම් පුරුක් පණුවන් ආවේ නැති තරම් ය.
හිඟුරක්ගොඩ, නෙල් මාවතේ, එච්. ඒ. ජයවර්ධන මහතා මෙවර සිය
කුඹුරේ නව දෙමුහුන් වී වර්ග’ සහ පැරණි දේශීය වී වර්ග ද වගා කළේ ය.
‘මගේ ‘බී. ජී. වී’ වර්ග (‘බී. ජී. 300/‘බී. ජී. 374/‘බී. ජී. 371 ආදී) හැදුවේ යූරියා පොහොර දමලයි. ඒවාට කීඩැවෝ ගැහුවා. ඒවාට තෙල් ගහන්න
රුපියල් විසිදාහක් විතර වියදම් වුණා. ‘ට්‍රාන්ස්පෝම්’ කියලා එකක් ගැහුවා. හරි ගියේ නෑ. ඊට පස්සේ ‘බී. පී. එම්. සී.’ කියලා එකක් ගැහුවා. හරි ගියේ නෑ. මගේ කුඹුරේ ගොයම
බණ්ඩිය ළඟින්ම පීදීම නතර වුණා. මං පච්චපෙරුමාල්. සුවඳැල් සහ රත්දැල්
කියන පැරණි වී වර්ගත් වගා කළා. ඒවාට කොම්පෝස්ට්
දැම්මා. ‘සෙමා’ ආයතනයෙන් දීපු දියර පොහොර දැම්මා. දේශීය වීවලට කීඩෑවෝ
ආවේ නෑ’ යයි, ජයවර්ධන මහතා සිය
අත්දැකීම් හෙළි කළේ ය.
මැදිරිගිරියේ, දිවුලන්කඩවල වෙසෙන කේ. ජී. ඒ. එස්. වීරසිංහ මහතා ද නව
දෙමුහුන් ‘බී. ජී. වී’ වර්ග සහ පැරණි වී වර්ග
ද වගා කළ ගොවියෙකි.
‘මගේ කුඹුරේ රසායනික
පොහොර දමාපු ගොයමට කීඩෑවෝ ගැහුවා. ඒත් දේශීය වී වර්ග
වැව්වේ කාබනික පොහොර දමලයි. ඊට අමතරව ‘සෙමා’ එකෙන් දීපු ‘රයිසෝන්’ කියන කාබනික දියර පොහොර ජාතිය දැම්මා. දේශීය වීවලට කීඩෑවෝ
ආවේ නෑ’, ඒ ඔහුගේ අත්දැකීමයි.
පොළොන්නරුවේ, සන්සුන්ගම, චන්ද්‍රලතා පියසීලී මහත්මිය හෙක්ටයාර් දෙකක පමණ නව
දෙමුහුන් වී වගා කළ තැනැත්තියකි. ‘මම නම් දැම්මේ රජයෙන්
දුන්නු යුරියා ටික විතරයි. කෘමිනාශක ගැහුවේ නෑ. කීඩෑවෝ ටිකක් හිටියා. කෘෂිකර්මේ මහත්තුරු
ඇවිල්ලා තෙලක් ලියලා දුන්නා. ටැංකි 75ක් ගහන්න කිව්වා. ඔය තෙල් ගැහුවාම
කීඩෑවෝ වැඩියෙන් එනවා. අපි ඒවා ගැහුවේ නෑ. ඉතින් අපට ලොකු
හානියක් වුණේ නෑ’, ඇය සඳහන් කළා ය.
කවුඩුල්ලේ ආර්. පී. ධර්මතිලක ගොවි මහතාගේ
කුඹුරට ද කීඩෑවුන් ආවේ ය. කාමිනාශක යෙදුව ද උන්
මර්දනය කළ නො හැකි විය. ඔහු පැවසුවේ අපූරු
කතාවකි.
‘මං ඉතින් භූමි තෙල්
ලීටර් දහයකට, සුදු ලූණු කිලෝවක්
කොටලා දාලා, සබන් කුඩු දියරත්
කලවම්කරලා ගොයමට ඉස්සා. කීඩෑ ලෙඬේ පාලනය වුණා’ ධර්මතිලක මහතා කීවේ ය.
පොළොන්නරුවේ වී ගොවීන් බොහොම දෙනෙකුට මෙවර රසායනික
කෘමිනාශකවලින් පිහිටක් ලැබුණේ නැත. එබැවින් ඔවුහු තමන්ට
දැනෙන වැටහෙන අන්දමට, විවිධ කීඩෑ නාශක
නිපදවා ගත්හ. එයින් කීඩෑ ප‍්‍රශ්නය
විසඳා ගත්හ.
නවීන රසායනික ගොවිතැන හිස් මුදුනින් පිළි ගන්නා උදවිය
කොතෙක් නින්දා කළ ද, දැන් එකක් නම්
පැහැදිලි ය. දේශීය පාරම්පරික වී
වර්ග පෝෂණ සහ ඖෂධ ගුණයෙන් මෙන්ම, කුඹුරේ දී ලෙඩ රෝගවලට ඔරොත්තු දීම අතින් ද බොහොම ඉහළ ය!
(පින්තූර අන්තර්ජාලයෙනි)
2018/09/17.
No comments:
Post a Comment