Followers

Sunday, 4 October 2020

වාරි ජලය ප්‍රමාද වීමේ රහස්!

 

වාරි ජලය ප්‍රමාද වීමේ රහස්!

 

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

‘ගොයම් ටික කපලා, ගෙදර යන කොට වක්කඩවල් ටික බඳලා යනවා නම්, අහස් වැස්සට ලියැදිවල වතුර පිරෙනවා. එයිනුත් වල් මර්දනය වෙනවා. තව ඉතින් හීයකුත් හෑවා නම්, වල්  ඉතිරි ටිකත් මර්දනය වෙනවා. ඒත් ගොවියෝ එහෙම කරන්නේ  නෑ. ආණ්ඩුවත් ඒ ගැන සද්දේ වහලයි ඉන්නේ. මහ හෝ යල, ඊළඟ කන්නය  පටන් ගන්න කල් ඔය වැඩේ කරනවා නම්, වල් මර්දන වියදම සියයට පණහකින් පමණ අඩු වෙනවා. වල් මර්දනයකර ගන්නට ගොවියාට ඉඩ සැලසෙනවා, මෙසේ කියන්නේ මැදිරිගිරියේ දිවුලන්කඩවල, කේ. ජී. ඒ. වීරසිංහ ගොවි නායකයා ය.

ඔහු මේ බව සඳහන් කළේ, ගොවීන් ඉල්ලන වේලාවට වාරි ජලය ලබා නො දීමේ ‘අනුසස්  ගැන කතා කරමිනි.

 

 


 

වර්තමානයේ මහවැලි සහ සෙසු මහා වාරිමාර්ග යටතේ ඇති වගා බිම් සඳහා වාරි ජලය සැපයීමේ නිල බලධාරියා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ‘ජල කළමනාකරණ ලේකම් කාර්යාලයයි. එක් එක් මහා වාරිමාර්ග ප්‍රදේශවලට, දියවර බෙදන කාලසටහන හදන්නේ ඔවුන් ය. එහෙත් ඔවුන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  ‘කලට-වේලාවට‘ වාරි ජලය ලබා නො දීම සම්බන්ධයෙනි! බොහෝ කාලයක පටන් ම. ඔවුන් එම ‘කීර්තිය උසුලමින් සිටින්නෝ ය,

වී වගාව ආරම්භ කිරීමේ ප්‍රථම වතුර මුරය  ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ද, ‘මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයටහිමිව ඇත්තේ, නරක ප්‍රසිද්ධියකි. වී ගොවිතැන කලට-වේලාවටකළ යුත්තකි. එය සිදු නො වුණ හොත්, ගොයමට ලෙඩ වැඩි ය. එයින් වී ගොවියාගේ වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යයි!

ප්‍රථම වතුර මුරයප්‍රමාද වෙනවා ය, යන්නෙහි තේරුම වී වගාව ප්‍රමාද වීමයි. එවිට ගොවීන්ට කන්නය අතරමැද ඉඩෝරය හෝ වර්ෂාව ආදී තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු වෙයි. මාස් කන්නයට සාපේක්ෂව යල කන්නයට ලෙඩ වැඩි ය.  යල කන්නයඇරඹීම ප්‍රමාද වුව හොත් ගොයමට ලෙඩ කන්දරාවක් ම වැළඳෙන බව වී ගොවීහු අත්දැකීමෙන් ම දනිති. කොයි වගා කන්නයට වුව, ඔවුහු කලට-වේලාවට වතුර ඉල්ලන්නේ ලෙඩ කන්දරාවෙන් ගැලවෙන්නට සල්ලි කන්දරාවක් ද වැය වෙන බැවිනි! එසේ වුව ද, ‘මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයටඒවා සම්බන්ධයෙන් වගේ වගක් නැති සෙයකි.

මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය’, ලංකාවේ මහවැලි ද ඇතුළුව, මහා පරිමාණ ගොවි ජනපද ව්‍යාපාර සෑම එකකට ම, (යල-මහ දෙ කන්නයට ම) වාරි  දියවර සපයයි. එහි ප්‍රධාන අරමුණ වී ගොවිතැනට ජලය සැපයීමයි. ඒ සඳහා මහා ජලාශ 24ක් ඔස්සේ, සාමාන්‍යයෙන් එක් මාස් කන්නයකට හෙක්ටයාර් 7,52,248කට පමණ (2019/2020 මාස් කන්නයේ දත්ත) වගා භූමියකට වාරි ජලය සපයයි. වී වගාව අඩු, 2020 යල කන්නයේ වගා කාල සටහන අනුව, ඔවුන් අතින් ජලය සම්පාදනය කෙරුණු වගා භූමිය හෙක්ටයාර් 1,91,561කි.

මෙහි තේරුම, ‘මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයයනු අපේ රටේ සමස්ත වී වගා භූ_මියට තීරණාත්මක ආයතනයකි. ඔවුන් වැඩ කරන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේඋපදෙස් අනුව ය. ලෝක බැංකුවේසම්බන්ධයක් ද ඔවුන්ට තිබේ.

මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේපාත්‍ර වර්ගයා අපේ රටේ ගොවීන් ය. එහෙත් එහි තීන්දු තීරණ ගන්නා ඉහළ ම මට්ටමේ කමිටුවෙහි එක ද ගොවියෙක් වත් නැත. එය නියෝජනය කරන්නේ වාරිමාර්ග සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අයත් උසස් නිලධාරීන් පමණකි. රටේ ප්‍රධාන ගොවි ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන ආරම්භ කෙරෙන්නේ කවදා ද?, එක් එක් ප්‍රදේශවල වැපිරෙන්නේ මාස කීයේ වී වර්ග ද?, ප්‍රථම වතුර මුරය නිකුත් කරන්නේ කවදා ද?, අවසන් වතුර මුරය නිකුත් කරන්නේ කවදා ද? ආදී ගොවීන්ට බලපාන අතිශය බරපතල තීන්දු තීරණ ගන්නා සාකච්ඡා මේසයෙහි කිසිදු ගොවි නියෝජනයක් නැත!

2020 යල කන්නය සඳහා ඔවුන් මාර්තු මාසයේ 26 වැනි දායින් පටන් ගෙන, අගෝස්තු මාසයේ 10 වැනි දා දක්වා විශාල කාල පරාසයක ජලය බෙදා දී තිබේ. එහෙත් ඒ, ගොවීන් ඉල්ලූ වගා කාලසටහන අනුව නොවේ. නිලධාරීන්ගේ කාලසටහන අනුව ය.

නිලධාරීන්ගේ කාල සටහන, කන්නයේ කාලගුණ රටාව මත පදනම්ව ඇති බවක් පෙනෙන්නට නැත. එබැවින් ඇතැම් පෙදෙසක ගොයම කිරි වැදෙන සමයට ඉඩෝරයටත්, ඇතැම් පෙදෙසක ගොයම පැසෙන කාලයට වර්ෂාවටත් හසු වීම සුලභ ලක්ෂණයකි! ගොවීහු තම ප්‍රදේශයේ වර්ෂාව හෝ ඉඩෝර රටාව ගැන දනිති. ඔවුන් වතුර ඉල්ලන්නේ ඒවාට ගැලැප්පෙන ආකාරයට ය. එහෙත් හැමදාමත් සිදු වන්නේ නිලධාරීන්ගේ කාල සටහන ඉස්මතු වීමයි.

දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන කන්න රැස්වීම්වල දි අපේ යෝජනා අහනවා. නිලධාරී ගොල්ලෝ ඒවා පොත්වල ලියා ගන්නවා. ඒත් කාල සටහන හැදිලා එන කොට, එන්නේ අපි ඉල්ලපු කාල සටහන නෙවෙයි, වෙන ම එකක්’, ගොවීහු චෝදනා කරති.

හිඟුරක්ගොඩ පී. එච්. ඩී. දයාරත්න (රත්නෙ අයියා) පවසන අන්දමට, යල හෝ මහ කන්නය ඇරඹීම ප්‍රමාද වුණු විට ලෙඩ කන්දරාවක් ම කුඹුර ආක්‍රමණය කරයි. කොල කන දළඹුවා, පුරුක් පණුවා, දුඹුරු පැල කීඩෑවා ආදී පළිබෝධක හානි ඇති වෙයි. මාස දෙකේ දී පමණ ගොයම මැරී යාමේ රෝගයක් ද හට ගනියි. කවුඩුල්ලේ ජයතිස්ස ගොවි නායකයා කියන හැටියට, යල කන්නයේ වැපිරුම් කල් පහු වෙන විට, ‘පොළොව තිත්ත වන සමයඑළඹෙයි. තිත්ත වුණු පොළොව ලෙඩ කන්දරාවකි.

ගොවීන් කියන හැටියට, යම් වර්ෂයක ඔක්තෝබර් මුල දී වාරි වතුර දෙන්නට නියමිතව තිබුණා නම්, ඇත්තට ම වතුර ලැබෙන්නේ නොවැම්බරයේ මැද හරියේ විය හැකි ය!

ජල කළමනාකරණ ලේකම් කාර්යාල නිලධාරීන් පවසන අන්දමට, කන්නය පටන් ගන්නට වතුර දීම ප්‍රමාද වන්නේ ජලාශවල ධාරිතාවය ප්‍රමාණවත් නො වුණ අවස්ථාවල ය. ඊට පිළිතුරු දෙන ගොවීන් කියන්නේ, ‘මඩ වැඩ ටිකඅහස් දියෙන් කළ හැකි නම්, වැපිරුමේ සිට පැලපත තෙක් වැවේ දියවරින් ජලය සම්පාදනය කළ හැකි බවයි. ඇතැම් වකවානුවක, ඒ අතර අහස් දියෙන් වැව පුරා ගැනීමට ද පුළුවන. මේ කාලසටහන, පූදින ගොයම ඉඩෝරයට හසු නො වන, වී අස්වනු නෙලන සමය වර්ෂාවට හසු නො වන ආකාරයට සකස්කර ගත හැකි ය.

වගා කන්නය කල් පහුවී ජලය දෙන සෑම අවස්ථාවක ම, කෘෂිකර්ම බලධාරීහු ගොවීන්ට එක්තරා කොන්දේසියක් පනවති. ඒ, වාරි ජලයෙන් වගා කරන කුඹුරුවල මාස තුනේ-තුන හමාරේ වී වර්ග පමණක් වගා කරන ලෙසයි. ගොවීන් සලකන්නේ, මෙය වල් තෙල් කොම්පැණිවලටවාසි සැලසෙන කොන්දේසියක් බවයි.

මාස තුනේ තුන හමාරේ වී වැපිරූ කුඹුරුවල, වල් පෑළෑටි යහමින් ඇතිවෙයි. ඒවා ද මාස තුනේ තුන හමාරේ වල් පැලෑටි ය. ඉතින් බොහෝ වියදම්කර වල් තෙල් ගසන්නට සිදු වෙයි. මාස හතරේ හෝ හතර හමාරේ වී වර්ග වගාකර තිබුණේ නම්, වල් පැලෑටි අභිබවා ගොයම නගියි. එවිට වල් මර්දන ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැත. දැන් කන්න දහයක විතර ඔය කොන්දේසිය එනවා. ඉතින් වල් පැලත් අනුවර්තනය වෙනවා’, කවුඩුල්ලේ ජයතිස්ස ගොවි නායකයා කියයි.

ප්‍රමාද වීමෙන් වාරි ජලය ලැබුණු සෑම කන්නයක ම, අක්කරයක කුඹුරක් වෙනුවෙන් ගොවියාට දරන්නට වන අතිරේක වියදම, රුපියල් 5000-20,000 ත් අතර වේ. ඒවා වැය වන්නේ, වල් මර්දනය සහ පළිබෝධක හානිවලට ප්‍රතිකර්ම යෙදීම වෙනුවෙනි.

2020 යල කන්නයේ වගා කාලසටහන අනුව, ඔවුන් අතින් (මහවැලි ජල කළමනාකරණ ආයතනය) ජලය සම්පාදනය කෙරුණු වගා භූමිය හෙක්ටයාර් 1,91,561කි. එය අක්කරවලින් කිව හොත්, 2,87,341ක් පමණ වේ.

වල් මර්දනය සහ පළිබෝධක හානි සඳහා ගොවියා විසින් අක්කරයකට වැය කළ අතිරේක වියදම රුපියල් 5000ක් යයි සිතමු. එවිට ගොවීන් වැය කළ සමස්ත මුදල රුපියල් මිලියන 143. 67කි. ගොවියා විසින් අක්කරයකට වැය කළ අතිරේක වියදම රුපියල් 20,000ක් යයි සිතමු. එවිට ගොවීන් වැය කළ සමස්ත මුදල රුපියල් මිලියන 5746.82කි.

ප්‍රමාද වී වතුර දීමෙන්,  දැවැන්ත කෘෂි රසායන (කෘමි නාශක සහ වල් නාශක) වෙළෙඳපොළක් නිර්මාණය වන බව එයින් පෙනී යයි! ප්‍රමාද වී වතුර ලබා දීමත්, මේ කෘෂිරසායන වෙළෙඳපොළත් අතර කිසියම් සබැඳියාවක් ඇති බවට සැකයක් මතු වේ!

කලට වේලාවට වතුර දෙනවා නම් ඔය ලෙඩත් අඩු වෙනවා. වැවේ වතුරත් ඉතිරි වෙනවා. ඒත් මේක කරන්නේ නෑයයි ගොවීහු චෝදනා කරති.

විශේෂ-

රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රමුඛ පිරිසක්, වාරි ජල ප්‍රමාදය ගැන කරුණු අධ්‍යනය කරමින් සිටින බව සැලයි. ඔක්තෝබර් 15 වැනි දා, පොළොන්නරුව දිස්ත්‍රික්කයට දියවර බෙදා හැරීම ආරම්භ  කරන්නට තීන්දුකර ඇතැයි ද අසන්නට ලැබේ!

(මෙම ලිපිය 2020/10/04 සතිඅග අරුණ පුවත්පතේ පළවිය)

Tuesday, 31 December 2019

අරුණ සුරවීරගේ කොළඹ ගෙවතු විප්ලවය

අරුණ සුරවීරගේ කොළඹ ගෙවතු විප්ලවය
(වසන්ත විජේවර්ධන)
(පින්තූර-ලලිත් පෙරේරා සහ වසන්ත විජේවර්ධන)



කොළඹ බත්තරමුල්ල, රාජගිරිය, කොස්වත්ත, නාරාහේන්පිට සහ බොරැුල්ල ආදී අතිශය ජනාකිර්ණ ප‍්‍රදේශවල මෝටර් සයිකලයකින් සැරිසරමින්, අනාරාධිතව නිවෙස්වලට ගොඩ වදින අමුත්තෙකි. ප‍්‍රථමයෙන් ම ආ-ගිය තොරතුරු විමසන හෙතෙම, ඊළඟට තමන් පැමිණි කාරියට බසින්නේ බොහොම උනන්දුවෙනි. ගෙහිමියන් කිසිදාක හඳුනන්නේ නැති අය වුව ද ඔහුට කමක් නැත!

ඔහු ගෙහිමියන් හමුවේ යම් කතා පුවතක් දිග හරියි. ඒ අතර, ‘ඇට බීජ මල්ලක්’ ඔලොගුවෙන් ගෙන, එහි තිබෙන දෑ එළියට ගනියි. වස විසෙන් තොරව ඒවා වගාකර ගෙන කෑමෙන් ඇතිවන සුගතිය ගැන පැහැදිලි කරයි. ඊළඟට ඔහු අනවසරයෙන් ම, ගෙවත්ත පිරික්සයි. ඉතා කුඩා නාගරික ගෙවතුවල පවා ආහාර භෝග වගා කළ හැකි බව කියයි. ඔහු කියන වගා භූමිය ඇතැම් විට ගෙපිලෙහි බිත්ති කොටස්, අහුමුළු හෝ උඩ තට්ටු කොරිඩෝ විය හැකි ය. 

මේ උපදේශනය අවසානයේ ගෙහිමියන් යම් වගාවක් කරන්නට එකඟ වෙති. අමුත්තා තම ඇට බීජ මල්ලෙන් බීජ ටිකක් ද ඔවුන්ට පිරිනමයි. රතු නිවිති, වැරණියා මිරිස්, ගෝන බටු කරවිල, තිත්ත තිබ්බොටු, කවුඩු කොච්චි, නයි මිරිස්, වඳුරු මෑ, ලංකා බෝංචි, ගොරක තක්කාලි, තුඹ කරවිල ආදී දේශීය ආහාර භෝග වර්ගවල ඇට බීජ ඒ අතර වේ. ඇතැම් විට, ඒවායින් කොටසක් ගෙවත්තේ සිටු වන්නේ ද අමුත්තා ම ය. 

රසයෙන් ද, ගුණයෙන් ද පිරිපුන් එබඳු භෝග වත්මන් නාගරිකයන්ට නම් අමුතු ය. මේ හැම දෙයක් ම නො මිලේ ය. කිසිවකට මුදල් අය කරන්නේ නැත.

‘මේවා හිටවන්න. මං ආයෙමත් සතියකින් හමාරකින් විතර එනවා’, ගෙහිමියන් ගෙන් සමුගන්නට පෙර ඔහු කියන්නේ මහත් සතුටිනි.

අමුත්තා වෙළෙන්දෙක් නොවේ. නාගරික ගෙවතුවල වසවිස නැති ආහාර භෝග වගා කරන්නට පොළඹවන ස්වේච්ඡා ක‍්‍රියාකාරිකයෙකි. හෙතෙම නමින් අරුණ සුරවීර ය. ස්වේච්ඡා ක‍්‍රියාකාරිකයෙක් යයි කීවාට, ඔහුට සමිතියක්, සංවිධානයක්, සංසදයක් හෝ වෙන යම් සමාජ ව්‍යාපාරයක් නැත. එහෙත් ඔහු ප‍්‍රකට ගොවියෙකි. ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් දොම්පේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
අරුණ සුරවීර

අරුණ, දශක දෙකකට පමණ ඉහත ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ කෙනෙකි. කොළඹ, බොරැුල්ලේ තිබුණු ‘සුරවීර ඔටෝ ඉන්ජිනියර්ස්’ නම් වෙළෙඳ ව්‍යාපාරය ඔහුගේ ය. පසුව හෙතෙම ව්‍යාපාර ක්ෂේත‍්‍රයට සමු දුන්නේ ය. ඉක්බිති නාවලපිටියේ, ‘පසැස ගොවිපොළේ’ ජී. කේ. උපවංශයන් සෙවණෙහි රැඳෙමින් වස විසෙන් තොර පාරිසරික ගොවිතැනට යොමු වුණේ ය. මේ අතර, පා. ම. තෙන්නකෝන් නම් සමාජ ක‍්‍රියාකාරිකයාගේ අදහස් ද අරුණගේ වෙනස් වීමට බලපෑවේ ය. අද ඔහු වස විසෙන් තොරව දේශීය වී වර්ග ඇතුළු ආහාර භෝග වගා කරන, තමන්ට මුණගැසෙන අයට ද ඒ සඳහා ගුරුහරුකම් දෙන ප‍්‍රවීණයෙකි.

බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතේ, කුමාරි බණ්ඩාරනායක ද අරුණගේ නාගරික වගා ව්‍යාපාරයේ ගෙවිලියකි. අරුණ කලකට ඉහත එහි පැමිණ රෝපණය කළ රතු නිවිති ගස් දැන් සරුවට හැදෙමින් යයි. ඇගේ ගෙවත්තේ ඇති ඇඹරෙල්ලා ගසට වැටෙන්නේ ‘ගව මුත‍්‍රා’ මුසු දියර පොහොර ය. දැන් එහි ඵල දරන්නේ ය. ඉන් ගෙහිමියන්ට පමණක් නොව, කුරුල්ලන් සහ ලේනුන් ආදී සතුන්ට ද ආහාර සපයන්නේ ය. ඉදුණු සුදු කොච්චි, පෝච්චිවල වැවූ වෙද හීනැටි ගොයම් පැල ද එහි තිබිණි. මේ නිවසේ ‘දවස ඇරඹුම් පානය’ වන්නේ ‘වැටේ මුරුංගා’ ය. එය සාදා ගන්නේ, මද පවනේ වියලා සකස්කර ගත් වැට මුරුංගා කොළ මේස හැන්දක් නටන වතුරට දමා, පෙරා ගැනීමෙනි. එය ඖෂධීය පානයකි.

බත්තරමුල්ලේ, රුහුණු පුර ප‍්‍රදේශයේ එක්තරා නිවසක, ගෙවත්ත පිහිටා ඇත්තේ උඩු මහලේ බැල්කනියේ ය. එහි බටු, මිරිස්, තක්කාලි, කැකිරි, පුහුල්, ගොටුකොළ, මුගුණුවැන්න, කරපිංචා, මොණර කුඩුම්බිය සහ පොල්පලා ආදී භෝග කදිමට වගාකර තිබේ. එය බඳුන්ගත වගාවකි. සමන් ජයකොඩි සහ නදීරා ප‍්‍රියදර්ශනී දෙපල මේ නිවසෙහි ගෙහිමියන් ය. සමන්, මහියංගණය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන ‘හරිත ප‍්‍රජා නිෂ්පාදන’ නම් ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයකට සම්බන්ධව සිටින්නෙකි. ඔවුන් සිය බැල්කනි වගාව සඳහා එහි ආභාෂය ද ලබා ගෙන තිබේ. ඔවුන් ද අරුණ සුරවීරගේ හිතවතුන් ය.

බත්තරමුල්ල, දේවාල පාරේ කෙළවරට වන්නට වෙසෙන නන්දදේව වැලිකැටිය ද අරුණගේ ගෙවතු ව්‍යාපාරයේ කොටස්කරුවෙකි. විශ‍්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු වන වැලිකැටියට කුඹුරු ද තිබේ. ඔහුගේ නාගරික ගෙවත්ත කෙසෙල්, ඉඟුරු, නිවිති, ගොටුකොළ, කරපිංචා, කොච්චි මිරිස් ආදී ආහාර භෝගවලින් සමන්විත ය. ඔහු කරන්නේ වස විසෙන් තොර ගෙවතු වගාවකි.

පෙනුමේ හැටියට නම් ‘බත්තරමුල්ල’ යනු අතිශයින් ම නාගරීකරණයට ලක් වුණු ඉසව්වකි. එහෙත් එහි පැරණි පන්නයට ගොවිතැන් කරන පිරිස් තවමත් සිටිති. ‘බෝතලේ, පරණ වලව්වේ  සමරක්කොඩි ඔවුන්ගේ නායකයා ය. හෙතෙම, බත්තරමුල්ලේ බටපොත ගොවි සංවිධානයේ සභාපතිවරයා ද වෙයි. මඩ ගොවිතැන් සහ ගොඩ ගොවිතැන් ද, කිරි ගව පට්ටියක් සහ සත්ව ගොපිපොළක් ද ඔහු සතු ය. බටපොත මහ වෙල් යාය ඔවුන්ගේ ගොවි බිමයි. සමරක්කොඩිගේ කිරි නිෂ්පාදන සඳහා  
 ප‍්‍රදේශයේ ලොකු ඉල්ලූමක් ද තිබේ. මෙවර ඔහුගේ කුඹුරෙහි කොටසක, පනාගොඩ එම්. ඞී. පියසේන ගොවියා සොයා ගත් ‘ගුරුපියා’ වී ප‍්‍රභේදය ද වගාකර තිබේ. ඔහුගේ වගාවන්ට කාබනික පොහොර සකසා ගන්නේ ගව ආදී සත්ත්ව වසුරු සහ මුත‍්‍රා, කොල රොඩු ආදියෙනි.

දෙහි, දොඩම්, බෙලි, අඹ, කොස්, කුඹුක් සහ කර`ද ආදී විසල් තුරු සෙවණක් යට වැවුණු බටු, මිරිස්, තක්කාලි, කැවුම් කොච්චි, කිරි අගුණ, වැල් පෙනෙල, ගොටුකොල ආදී ආහාර භෝග කෘෂි උයනක සිරි ගනියි. ඔහු ද අරුණ සුරවීරයන්ගේ හිතවතෙකි.

අරුණ සුරවීරයන්ගේ නාගරික ගෙවතු සංචාරයේ දී නිතරම ගොඩ වදින නිවසක් කොස්වත්ත හන්දියේ තිබේ. එක්තරා සුපිරි වෙළෙඳසැලක් පිටුපස පිහිටි එය සංගීත පන්ති පැවැත්වෙන ආශ‍්‍රමයකි. එහි ගොඩ වදින පාරේ බුබුළු දමමින් උතුරා යන, පායන කාලයට හෝ නො සිඳෙන දිය උල්පතකි. එය සංගීත ඇදුරිඳුගේ ‘වගා දිගාවේ’ මව් දියවර ය. සංගීත ගුරුතුමා නමින් බණ්ඩාර දුරුතුසිංහ ය. හේ, කලාව සහ සොබාදහම වස විස නැතිි ගොවිතැනට මුසු කරන්නට හපනෙකි. 

දුරුතුගේ ගොවිතැනේ කහ මුං, කැවුම් කොච්චි, රතු නිවිති, කහ බටු, කෙසෙල් සහ තවත් දේශීය එළවළු වර්ග වගාකර තිබේ. ඔහු පැල තවානක් ද පවත්වා ගෙන යයි. කුඩා ඉඩකඩක ඔහු සියල්ල හසුරුවා ගෙන තිබේ. යාබදව පිහිටි සිය හිත මිතුරන්ගේ ඉඩම් වස විස නැති ගොවිතැනෙන් සාර කරන්නට දුරුතු සහාය දී තිබේ.

සමාජවාදී ලෝකයට ‘පැට්ටා’ හෙවත් ‘පැටි‍්‍රක් ප‍්‍රනාන්දු’ කැපී පෙනෙන චරිතයකි. ඔහු 1971 අප‍්‍රියෙල් ජ. වි. පෙ. කැරැල්ලේ ප‍්‍රබලයෙකි. කැරැල්ලට සම්බන්ධව සිටි සරත් ප‍්‍රනාන්දු සහ විමල් ප‍්‍රනාන්දු ‘පැට්ටාගේ’ සොහොයුරන් ය. දැන් සරත් ප‍්‍රනාන්දු මෙලොව හැර ගොසිනි. එකල ‘පැට්ටා’ සංස්කරණය කළ ‘දියැස’ සඟරාව වාමාංශිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූයේ ය. පැටි‍්‍රක් ප‍්‍රනාන්දු මෑතක පටන් පසුවන්නේ අසනීපයෙනි. ඔහුගේ නිවස පිහිටියේ රාජගිරියේ පොල්වත්ත ප‍්‍රදේශයේ ය.

අරුණ සුරවීර ඔවුන්ගේ පවුලේ හිතවතෙකි. ඔහු පැටි‍්‍රක්ගේ බිරින්දෑ වන ස්වර්ණක්කා (ස්වර්ණා ප‍්‍රනාන්දු) කොළඹ ගෙවිලියක් බවට පත්කර තිබේ. ඇගේ ගොවි බිම මහ පොළොවේ පිහිටි එකක් නොවේ. එය අස්වද්දා ඇත්තේ පර්චස් හතරක් තුළ ඉදි කෙරුණු ඔවුන්ගේ තෙමහල් නිවසේ මුදුන් තලයේ ‘ස්ලැබ් එක’ උඩ ය. එය ‘ආකාශ වගාවකි’. ස්වර්ණා ප‍්‍රනාන්දු කලින් සේවය කළේ ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ය. විශ‍්‍රාමිකව සිටින ඇයට කාලය ගෙවෙන්නේ සිය සැමියාට උවටැන් කිරීම, දරු මුණුපුරන් බලාකියා ගැනීම සහ ආකාශ වගාව නඩත්තුව සඳහා කටයුතු කිරීමෙනි.

නිවිති, කංකුන්, පැපොල්, මිදි, සේර, ගොටුකොළ, කරපිංචා, රම්පේ, තම්පලා, තෝර, තෙබු, කිරි අගුණ, මුගුණුවැන්න, පැෂන්, හීං නාරන්, පේර, තුඹ කරවිල, බටු කරවිල, වැරණියා මිරිස්, කොච්චි, ඇඹරැල්ලා, කෝමාරිකා ආදී ආහාර භෝග සහ පලතුරු වර්ග රාශියක් ඇගේ අහස් වගා බිමෙහි තිබේ. ඇය සිය වගාව ඩ‍්‍රැගන් පෲට් සහ උඩවැඩියා පැලයකින් අලංකාරකර ඇත. මේ ආකාශ පරිශ‍්‍රය පැණි කුරුල්ලන්, බටිත්තන්, සමනලයන්, මී මැස්සන් ආදී සතුන්ට ද සැරිසැරුම් බිමකි. එය උඩු මහලේ වන වදුලක් බඳු ය. එය බඳුන් ගත කාබනික වගාවකි. අසනීප වෙන්නට පෙර මේ වගාවට උදව් කළේ ඇගේ සැමියා පැටි‍්‍රක් ය. දැන් ඇය තනිවම එය නඩත්තු කරයි. ඇගේ නිවසෙහි ආහාර වේල වස විසෙන් තොර එකකි.

‘හුඟක් අය පුංචි ඉඩකඩක හරි වස විසෙන් තොරව ආහාර භෝගයක් වවා ගන්න දන්නෙ නෑ. මං ඉතින් කියලා දෙනවා. ඒ අයගේ ගෙවතුවල බව භෝග හැදෙන කොට මට හරි සතුටක් දැනෙනවා’ අරුණ සුරවීර කියන්නේ ය.
(2019/12/29 සති අග අරුණ පුවත්පතේ පළවිය)




Friday, 6 December 2019

ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ප්‍රථම වාර්ෂික මහා සභාව දෙසැම්බර් 14 වැනි දා වාරියපොල දී

 ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ 
ප්‍රථම වාර්ෂික මහා සභාව
දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා වාරියපොළ දී



ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ප්‍රථම වාර්ෂික මහා සභාව, දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරයේ දී පැවැත්වේ.

මහා සභාව පැවැත්වෙන්නේ සම්මේලනයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, එප්පාවල ගල්කන්ද පුරාණ විහාරාධිපති මහාමාන්කඩවල ශ්‍රී පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
වස විස නැති දේශීය වී ගොවිතැන සහ වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම මුල්කර ගනිමින් ජාතික පාරිසරික ගොවි සම්මේලනය ඇරඹිණි.

වස විසෙන් තොරව වගා කළ දේශීය සහල් සහ එළවලු ආදී ගොවි නිෂ්පාදන ද අලෙවි කරන කුඩා පොළක් ද එදින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සම්මේලනයේ ලේකම් ටී. වී. ප්‍රිය. පීරිස් මහතා සඳහන් කරයි.



000000000000000000000000000000000000000


Sunday, 3 November 2019

එම්. ඞී. පියසේන ගොවියා ‘ගුරුපියා’ සොයා ගැනීම

පනාගොඩට පැමිණි සොබාදහම
නව දේශීය දෙමුහුම් වී ප‍්‍රභේදයක් 
රටට තිළිණ කළ හැටි
එම්. ඞී. පියසේන ගොවියා  ‘ගුරුපියා’ සොයා ගැනීම
 කොලෙස්ටරෝල් පාලනය අතින් ඉහළම ගුණයක්








ගුරුපියා වී
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-නන්දන රණසිංහ-හෝමාගම)
ලොව හොඳම ගොවියා, ‘සොබාදහම’ බව ප‍්‍රචලිත කතාවකි. එය, මීට කන්න තුන හතරකට  පමණ ඉහත හෝමාගම, පනාගොඩ ප‍්‍රදේශයට එබිකම් කළ බව, දැන් සක්සුදක් සේ පැහැදිලි ය. එම්. ඞී. පියසේන නම් ගොවියාට පනාගොඩින් හමුවූ ‘අමුතු වී වර්ගය’ සොබාදහමේ මුහුම් වීමෙන් නිර්මාණය වූවක් බව හරියට ම තහවුරු වීම ඊට හේතුව ය. එහි තේරුම,  හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ වෙසෙන එම්. ඞී. පියසේන නම් ගොවියාට ‘සොබාදහම’ මුණ ගැසී ඇති බව ය!

‘සොබාදහම’ ඔහුට මුණගැසී ඇත්තේ, පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණ භූමිය තුළ පිහිටි කුඹුරු යායේ දී ය. හමුවෙන් පසුව ලෝකයට තිළිණ කෙරුණු නව වී ප‍්‍රභේදයේ නම, ‘ගුරුපියා’ ය. එහි සහලින් පිසෙන බත, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ පිළි ගැනීමයි!

හෝමාගමට නුදුරු පනාගොඩ පිහිටි යුද හමුදා කඳවුරු සංකීර්ණය, විශාල භූමියක් පුරාවට පැතිරුණකි. එහි කුඩා වැවක් ද ඒ දියවරින් වගා කෙරෙන කුඹුරු ද තිබේ. එයින් අක්කර දාහතක කොටසක, යල-මහ දෙකෙහිම වී වගා කෙරෙන්නේ එම්. ඞී. පියසේන ගොවියා අතිනි. එය යුද හමුදා කඳවුරෙන් ‘බද්දට ගත්’ කුඹුරකි. ඔහු එහි වගා කරන්නේ දේශීය පාරම්පරික වී වර්ග ය. ඒ, වස විස නැති කාබනික ක‍්‍රමයට ය.

එම්. ඞී. පියසේන ගොවියාට ‘සොබාදහම’ හමු වූයේ නිකම්ම නොවේ. ඔහුගේ පියාණන් වූ එම්. සිමියොන් සිංඤ්ඤෝ නම් පුරෝගාමී ගොවියාගේ අඩි පාරේ ගමන් කළ නිසා ය. එය විචිත‍්‍රවත් පුවතකි.
පියසේන ගොවි මහතා

‘අපේ තාත්තා ඒ කාලේ ‘කිරි නාරං’, ‘බටපොළැල්’, කුරුළු තුඩ’, ‘එච් හතර’ වගේ පාරම්පරික වී ජාති වගා කළා. අපේ පුද්ගලික කුඹුරු තිබුණේ පනාගොඩ මීගස්මුල්ල හරියේ. අපි වවා ගෙන තමයි බත් කෑවේ. 1960 විතර වෙනකල් අපේ පළාතේ දේශීය පාරම්පරික වී ගොවිතැන කෙරුණා. ඊට පස්සේ තමයි ඔය රසායනික පොහොර ගහන, වස තෙල් ගහන නවීන ගොවිතැන ආවේ. ඒකෙන් දේශීය පාරම්පරික වී  ගොවිතැන අභාවයට ගියා’, පියසේන මහතා අතීත මතකයන් පෙළ ගස්වමින් කියන්නේ ය.

පියාණන්ගේ අනුදැනුමෙන් කුඹුරු-පිටිවල වැඩ කළ ද, පියසේන වෘත්තියෙන් කාර්මික අංශයේ වැඩ මූලිකවරයෙකි. ඔහු කලක් විදෙස්ගතව ද, ලංකාවේ ද රැකියාව කළේ ය.

‘2008 වසරේ තමයි මං රස්සාව අත්හැරලා ලංකාවට ආවේ. ඉන් පස්සේ තමයි වී ගොවිතැනට බැස්සේ. දවසක් මං පාන්දර හෝමාගම පැත්තේ තැනක රසායනික පොහොර ගන්න දිග පෝලිමක ඉන්නවා. එවේලේ තමයි මම කල්පනා කරන්නේ, ඇයි අපේ තාත්තලා අපට දුන්  ගොවිතැන් රටාවේ යන්න බැරි කියලා. මොකද අපිට ඒ කාලේ පැරණි වී වර්ග වගා කරලා යම් දැනුමක් තිබුණා. මං ආපහු ආවා. ඊට පස්සේ තමයි මට ‘පී. ගුරුසිංහ ගොවි ක‍්‍රියාකාරිකයා හමු වුණේ. ඔහු තමයි මට මුලින්ම ‘රත් සුවඳැල්’ නමැති දේශීය පාරම්පරික වී වර්ගය දුන්නේ. ඔය 2008 දි. එතැනින් තමයි මං දේශීය පාරම්පරික වී ගොවිතැනට එකතු වෙන්නේ’ පියසේන තම අතීත අත්දැකීම් එකින් එන දිග හරිමින් කියයි.

ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ කුඹුරු ඉඩම බද්දට ලබා ගෙන, එහි දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට පටන් ගත්තේ මීට වසර පහකට පමණ ඉහත දී ය. එකල ඒ භූමිය පුරන් වුණු කුඹුරු යායකි. එය බද්දට ගෙන අස්වද්දන්නට මග පෙන්වන ලද්දේ එවකට හෝමාගම කොට්ඨාශයේ රාජකාරි කළ කෘෂි උපදේශකවරයා වූ ජී. ජී. සමිත මධුශංක විසිනි. 

පියසේන සහ තවත් ගොවීන් නම දෙනෙක් යාය අස්වද්දන්නට එකතු වූහ.  එය ශුද්ධකර, එහි ඇති සාර පස පාදා ගන්නට මහත් පරිශ‍්‍රමයක් දරන්නට ද සිදු විය. ‘ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ’ (මොන්ලාර් ආයතනය) සම්පත් ආරියසේන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ (යූ. එන්. ඞී. පී.) අරමුදලක් ලබා ගෙන නව කුඹුරේ ඇළවල් ආදිය කපා දුන්නේ ය. එවකට ප‍්‍රදේශයේ කෘෂිකර්ම, පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයාව සිටි අජිත් ධර්මකීර්ති ලියනගේ ද පියසේනගේ ප‍්‍රයත්නයට උදව් කළේ ය. 

පනාගොඩ යුද හමුදා කඳවුරේ ප‍්‍රධානීන් ද හැකි සෑම සහායක් ම දුන්හ.
දේශීය පාරම්පරික වී ගොවිතැන සඳහා මුලින්ම ඔහුට ගුරුහරුකම් දුන්නේ පී. ගුරුසිංහ ගොවි ක‍්‍රියාකාරකයා ය. ඊට පසුව ‘ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ’ සුරන්ජන් කොඩිතුවක්කු සහ සම්පත් ආරියසේන යන කාබනික ගොවිතැන ගැන උනන්දු පරිසරවේදීන්ගේ ද මගපෙන්වීම් ලැබිණි. මේ අතර පියසේන ගොවියා සමග එකතුවී සිටි ගොවීන් නම දෙනා වගාවෙන් ඉවත් වූහ. අවසන මුළු යායට ම ඉතිරි වූයේ පියසේන පමණි. පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග විස්සක් පමණ වස විසෙන් තොරව වගා කරන උද්ේ‍යා්ගිමත් ගොවියෙකු බවට පත් විය. මඩතවාලූ, ගෝනබරු, හැටදා වී, මුරුංගා කායම්, කුරුළු තුඩ, දහනල ආදී පැරණි වී වර්ග විස්සක් පමණ ඒවා අතර විය.

පියසේන තම ගොවි බිමට අවශ්‍ය කාබනික පොහොර සොයා ගන්නේ ද අමුතුම ක‍්‍රමයකට ය.

‘මං පනාගොඩ කුඹුරට කවදාවත් රසායනික පොහොර දාලා නෑ. වල් නාශක, කෘමිනාශක ගහලා නෑ. මෙච්චර ලොකු කුඹුරකට දාන්න තරම් කොම්පෝස්ට් පොහොර සොයා ගන්නත් අමාරුයි. ඒත් මම කොම්පෝස්ට් පොහොර ටිකක් හදා ගන්නවා. ඒවා මගේ එළවළු ගොවිතැනට ගන්නවා. මේ අක්කර දාහතක කුඹුරට, මූලික පොහොර හැටියට මම දාන්නේ  කුකුළු පොහොරයි. බිත්තර දාන කිකිළියන්ගේ පොහොර තමයි මම ගන්නේ. ඒවා සොයා ගන්නත්  අමාරු නෑ. තව ඉතින් ආණ්ඩුවෙන් දෙන දියර පොහොර එකක් යොදනවා. සම්පත් ආරියසේන මහතා හදලා දුන්නු කාබනික දියර පොහොර වර්ගයකුත් මම පාවිච්චි කරනවා. මගේ ගොවිතැන, සොබාදහමට ළං කරන්න හැකි තරම් උත්සාහ කරනවා’, ඒ, පියසේනගේ ගොවිතැනේ රිද්මයයි.

ඉපැරණි දේශීය පාරම්පරික වී ගොවිතැනේ වැඩ හවුල්කරුවන් වුයේ මී ගවයන් ය. දැන් කුඹුරු වැඩට හවුල්කර ගත හැකි මී ගව සම්පතක් පනාගොඩ පැත්තේ නැත. එබැවින් පියසේනගේ වී වගා භූමිය මඩ කෙරෙන්නේ ‘අත් ට‍්‍රැක්ටරය’ හෙවත් ‘යකඩ මී හරකා’ යොදා සී සෑමෙනි. වර්තමානයේ ඔහුගේ ගොවිතැන් කටයුතු සඳහා උදව් කරන්නේ ප‍්‍රදේශයේ කෘෂිකර්ම, පර්යේෂණ සහ  නිෂ්පාදන සහකාරවරිය වන එම්. ඒ. වී. ජයන්තිමාලා ය.

පියසේන ගෙවියාට සිය කුඹුරේ දී ‘සොබාදහම’ මුණ ගැසෙන්නේ, මහ පොළොව සුවපත් කරන මෙබඳු ගොවිතැනක නියැලී සිටින අවස්ථාවක ය. එය සිදු වුයේ මීට වසර තුනකට පමණ උඩ දී ය. ඒ වතාවේත් ඔහු දේශීය පාරම්පරික වී වර්ග විස්සක් පමණ වගාකර තිබිණි.

පියසේන ගොවියා ඒ කතාව වචනයට නංවන්නේ මහත් අභිමානයෙනි.

‘මගේ කුඹුරේ අක්කර තුන් කාලක පමණ කොටසක යම් වෙනසක් දැක්කා. මම එතැන වපුරලා තිබුණේ ‘දික් වී’ කියන දේශීය වී වර්ගයයි. ඒත් ඒවා අතර තැනින් තැන අඩි තුනහමාරක්-හතරක් විතර උස වෙනත් වී වර්ගයක් හැදිලා තිබුණා. ඒකේ ‘කරල’ පවා වෙනස්. වර්ණයත් වෙනස්. මේක හඳුනා ගන්න බෑ. අක්කර තුන්කාලට ම තිබුණේ වී කරල් දහසයයි. සෑම ගොයම් ගසකම පුරුක් හතරක් තිබුණා. මම ඒක වෙනම කපා ගත්තා. මේ අක්කර තුන්කාලේ භූමියේ තිබුණේ ‘දික් වී’. ඒ වටේට තවත් කුඹුරු කෑලිවල වෙනත් දේශීය වී වර්ග වගා කරලා තිබුණා. මේක, ඒ හැම එකකට ම වඩා වෙනස්. විවිධ වී වර්ග එක ලඟ පුදින කොට, ස්වාභාවිකවම ඒවායින් අලූත් ප‍්‍රභේද අභිජනනය වෙන බව මම අහලා තිබුණා. ඒත් මගේ කුඹුරේ එහෙම දෙයක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ’, ඔහු කියයි.

එයින් පසුව මේ අමුතු වී වර්ගය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරගේ ඇසට හසු වන්නේ ය. ඒ, තම ශිෂ්‍යාවක් කළ හඳුන්වා දීම අනුව ය. ඉන් පසුව පියසේන ගොවියා සොයා ගත් නව වී ප‍්‍රභේදය සම්බන්ධයෙන්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයෙන්  පර්යේෂණ කටයුත්තක් සංවිධානය කෙරිණි. එය අධීක්ෂණය කළේ ආචාර්ය පහන් ගොඩකුඹුර ය. ආචාර්ය ප‍්‍රශාත්න මලවිආරච්චි සහ පී. ඒ. නදිනි තුෂාරා නම් පර්යේෂණ ශිෂ්‍යාව ද ඊට එක් වූහ. නව වී ප‍්‍රභේදය, ‘දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් මුහුම් වීමෙන් මූලාරම්භ වූ බව’ ඔවුන්ගේ නිරීක්ෂණය විය.

මේ අතර පියසේන ගොවියා, තමන් සොයා ගත් නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නාමකරණය කළේ ය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේෂකයන් වැඩි අවධානයක් යොමුකර තිබුණේ ‘ගුරුපියා’ වී ප‍්‍රභේදයෙන් නිපැයෙන සහලෙහි (බතෙහි) පෝෂණීය සහ ඖෂධීය ගුණාංග හඳුනා ගැනීමට ය. ඒ අනුව කළ හැදෑරීම්වලින් අනාවරණය වූයේ, ‘ගුරුපියා’ සහලේ ග‍්‍රෑම් සියයක කිලෝකැලරි 375ක ශක්තියක් ඇති බව ය. සාමාන්‍යයෙන් නිවුඩු සහල් ග‍්‍රෑම් සියයක ඇති ශක්ති ප‍්‍රමාණය කිලෝකැලරි 360ක් බව පොදු පිළි ගැනීමයි. ඒ අනුව බලන විට, ‘ගුරුපියා’ සහල කැලරි ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බව පෙනී යන්නේ ය.

සහලින් පිසෙන බත, ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ජනී ජනයාගේ ද ප‍්‍රධාන ශක්තිජනක ආහාරයයි. ‘දේශීය පාරම්පරික’ හෝ ‘නව වැඩි දියුණු කළ’ සහල් ගත් විට, ඒවායෙහි පිෂ්ඨය (කාබෝහයිඩ්‍රේට්), ප්‍රෝටීන, මේද අම්ල, ඛනිජ ලවණ (සින්ක්) ආදී පෝෂණීය සහ ඖෂධීය සංඝටක ගණනාවක් ම හඳුනාගත හැකි ය. පැරණි දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල පවතින පෝෂණීය සංඝටක ප‍්‍රමාණය, නව වැඩි දියුණු කළ වී වර්ගවලට වඩා වැඩි බව, කාර්මික තාක්ෂණ ආයතනය 2006 වසරේ සිට කළ පර්යේෂණ මාලාවෙන් හෙළි විණි. ඔවුන්ගේ පර්යේෂණයේ දී නව සහ පැරණි සහල් ප‍්‍රභේද 40ක් සලකා බැලිණි.

කාර්මික තාක්ෂණ ආයතන පර්යේෂණයේ දත්ත සමග සසඳන විට පෙනී යන්නේ, නව ‘ගුරුපියා’ වියෙහි සහලේ ගුණාංග ද, දේශීය පාරම්පරික සහල්වල ගුණාංගවලට බෙහෙවින් සමාන මට්ටමක පවතින බවයි. දේශීය පාරම්පරික සහල්වල සින්ක් සංයුතිය පිහිටන්නේ සියයට 2ත්, සියයට 3.9ත් අතර ය. එහෙත් නව ‘ගුරුපියා’ සහලේ සින්ක් සංයුතිය පවතින්නේ සියයට 4.8ක් තරම් ඉහළ මට්ටමක ය. සින්ක් යනු තුවාල සුව වීම කෙරෙහි බලපාන සංඝටකයකි. ඒ කාරණයේ දී ‘ගුරුපියා’ සහල ඉදිරියෙන් සිටින්නේ ය.

‘සතිඅග අරුණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය පහන් ගොඩකුඹුර ප‍්‍රකාශ කළේ, ‘ගුරුපියා’ සහලෙහි සංයුතිය තුළ මිනිස් ශරීරයට හිතකර අසංතෘප්ත මේද අම්ල සියයට 66.8ක් ඇති බවයි.
‘මේ සහල්වල මනුෂ්‍යයන්ගේ ශරීර වර්ධනයට සහ විකසනයට අත්‍යවශ්‍ය ‘ඔලෙයික් අම්ලය’  සියයට 63.5ක් තිබෙනවා. එයින් දේහයේ අහිතකර කොලෙස්ටරෝල් (අහිතකර මේදය) මට්ටම පාලනය වෙලා, හෘද්‍යාබාධ අවදානම අඩු කරනවා’ යයි ද ඇය  සඳහන් කළා ය.

එම්. ඞී. පියසේන ගොවි ක‍්‍රියාකාරිකයා ලියුම්කරුට හඳුන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ පරිසරවේදී වසන්ත විජේවර්ධන ය.

‘පියසේන ගොවියා තම පවුලේ අය ද එකතුකර ගෙන කරන්නේ රජයක් විසින් කළයුතු සංවර්ධන පර්යේෂණයක්. අක්කර තුන් කාලක භූමියක පීදුණු අමුතුම වී කරල් දහසය ඔහු හඳුනා ගන්නේ සිය හත්මුතු පරපුරේ ගොවිකම් දැනුම අනුවයි.  ඔහු මෙය විද්‍යාත්මකව හඳුනා ගන්නත් වෙහෙසෙනවා. මේ සියල්ල සිදු වෙන්නේ රටේ වාසනාවටයි. මේ නව වී ප‍්‍රභේදයේ පේටන්ට් උරුමය පියසේන ගොවියාගේ පවුලට ලැබිය යුතු යයි මම යෝජනා කරනවා’, වසන්ත විජේවර්ධන කියන්නේ ය.

පනාගොඩ පියසේන ගොවියාට, සොබාදහම මුණගැසීම හරිම අපූරු ය.

(මෙම ලිපිය 2019/11/03-ඉරිදා අරුණ පුවත්පතේ පළ විය.)
2019/10/30






Wednesday, 30 October 2019

කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි

පනාගොඩ ගොවියෙක් කොලෙස්ටරෝල් පාලනයට ඉහළ සමත්කම් ඇති නව වී ප‍්‍රභේදයක් නිපදවයි







(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) 
(පින්තූර-හෝමාගම නන්දන රණසිංහ)
ස්වාභාවිකව මුහුන් වූ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් ඇසුරෙන් නව වී ප‍්‍රභේදයක් නිපදවීමට හෝමාගම  පනාගොඩ ප‍්‍රදේශයේ ගොවි මහතෙකු දැරූ උත්සාහයක් සාර්ථක වී තිබේ. ඔහු නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නම්කර ඇත.

මාස තුනහමාරක් හෝ හතරක කාලයකින් ඵල දරන නව වී ප‍්‍රභේදය, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, පර්යේෂණ කටයුත්ත සඳහා සහාය දුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය පවසයි. එය රතු සහලක් ගෙන දෙන වී ප‍්‍රභේදයකි.
නව වී ප‍්‍රභේදය නිපදවා ඇත්තේ හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ පදිංචිව සිටින එම්. ඞී. පියසේන නම්  ගොවි ක‍්‍රියාකාරිකයා විසිනි. 

දේශීය පාරම්පරික වී වර්ග වගා කළ ගොවි පවුලකින් බිහිවුණු හෙතෙම දැනුදු පැරණි වී ප‍්‍රභේද විස්සක් පමණ වගා කරයි. ඔහු ඒ සියල්ල කරන්නේ ‘කාබනික පොහොර’ භාවිතාවෙනි. සිය නිෂ්පාදන නිවසෙහි සිටම අලෙවි කරන පියසේන, ඒ සඳහා ‘තෙදබල පාරම්පරික සහල්’ නමින් කුඩා ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යයි. ඔහුගේ වී වගා භූමිය අක්කර දාහතක් වන අතර, එය අයත් වන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරට ය.

‘ගුරුපියා’ සහලෙහි පෝෂණීය සහ ඖෂධීය ගුණ සම්බන්ධයෙන් විශ්ලේෂණ කිරීම ආදී කටයුතුවලට සහාය වී ඇත්තේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරයි. ඇය  සමග ආචාර්ය ප‍්‍රශාන්ත මලවිආරච්චි ද, පර්යේෂණයේ ශිෂ්‍යා පී. ඒ. නදිනි තුෂාරා ද මෙම කටයුත්තට එක්ව ඇත.
ආචාර්ය පහන් ගොඩකුඹුර පවසන අන්දමට, ‘ගුරුපියා’ වියෙහි සහලේ බත, හෘද්‍යාබාධවලට තුඩු දෙන ‘කොලෙස්ටරෝල්’ පාලනය කිරීමේ ඉහළම ගුණයෙන් යුක්ත ය.

‘මෙදා සැරේ මාස් කන්නයටත් මම අනෙකුත් වී වර්ග සමග ‘ගුරුපියාත්’ වපුරනවා’, පියසේන ගොවියා ‘අරුණට’ පැවසී ය.

(මෙය 2019/10/30 දින ‘අරුණ’ පුවත්පතේ පළ විය.)


Thursday, 24 October 2019

මා වී බතේ අරුමය සහ තවත් කතා

මා වී බතේ අරුමය සහ තවත් කතා


ලිංගික ශක්තිය වඩවන
මා වී බතේ අරුමය සහ තවත් කතා

 





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පුරාණයේ මාතර නිල්වලා ගං නිම්නයේ කෙරුණු ‘මා වී’ ගොවිතැන  හා බැඳුණු ඇතැම් සිරිත් විරිත් මහත් කුතුහලය දනවන්නේ ය. ඉන් එක් සිරිතකට අනුව, ‘මා වී’ වගා කරන කලාපයේ ගොවි තරුණයෙකුට ‘හිරයක්’ ගේන්නේ (විවාහයට තරුණියක් සොයන්නේ) ද, මා වී වගා කරන පවුලකිනි. එසේ කරන්නේ ඇයි ද? කියා විමසන කෙනෙකුට ලැබෙන්නේ බොහොම ‘කෘෂිකාර්මික’ පිළිතුරකි!
 
‘මේකනේ, ‘මා වී’ වගා කරන ගොවි ගෙදරක තියෙන වැඩ සම්භාරය ගැන දන්නේ ‘මා වී’ වගා කරන පවුල්වල අය විතරයි. ඉතින් වෙන තැනකින් කෙල්ලක් ගෙනාවොත් එයා ඔය ‘මා වී තෝත්තරේ’ දන්නෙ නෑනේ. එතකොට වැඩ ටික අවුල් වෙනවා. මා වී ගැන දන්න ගෙදරකින් කෙල්ලන් සොයන්නේ ඒකයි’ යනුවෙන් එහි සඳහන් වෙනු ඇත!
මා වී සම්බන්ධයෙන් ගත් කල, මේ කාරණයත් බොරුවක් නො වේ. එහෙත් ඇත්ත, එළිපිට කතා නො කරන වෙනත් කාරණයකි. එය රහසක් බඳු ය.
 

නිල්වලා නිම්න වැසි ගොවීන් දැන් නම් වගා කරන්නේ ‘මහ  මාවී’ නමැති දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයයි. ඊට ඉහත නම් ඔවුහු ‘හිවල් මාවී’ වගා කළහ. පැරණි නිල්වලා නිම්නය නිරන්තරයෙන් ගංවතුර උවදුරට හසු වන බැවින් ගොවීහු මා වීවලට හුරු පුරුදුව සිටියහ. මා වී සහලෙහි බත, පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද පොහොනේ ය. එබැවින් එකල ගොවීහු සිය වගා කටයුතුවල දී ‘බුද්ධ භෝගය’ යයි ගෞරවයෙන් සැලකුවේ ද ‘මා වීවලට’ ය.
 

අතීතයේ දී  අපේ රටේ දේශීය පාරම්පරික ‘මා වී’ වර්ග 28ක් පමණ පැවතිණි. ඒවා වගා කෙරුණේ රටේ තෙත් කලාපීය ප‍්‍රදේශවල ය. විශේෂයෙන් ම, නිල්වලා, ගිං, කළු, කැලණි සහ අත්තනගලූ ඔය ආදී තෙත් කලාපීය ගංගා නිම්නවල ය.
 

ගොයම් ගසක් හැටියට ‘මා වී’ ශාකයේ ගති සොබාවන් විශ්මයජනක ය. එය ගංවතුර හෝ අධික ජල තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙයි. එය ජලයට කුණු වෙන්නේ නැත. පීදුණු ගොයම ගංවතුරට හසු වුව ද, වී කරල ජලයෙන් ඉහළට ඇදී එයි. එබැවින් ගොවීන් කියන්නේ ‘ඔරුවෙන් ගිහින් හෝ ගොයම් කපන්නට හැකි’ බව ය.
 

පාරම්පරික මා වී ගොයමෙහි ඵල දරන වයස මාස හයකි. එහි ගොයම් ගස අඩි පහක් හයක් පමණ දිග ය. පුරුක් සහිත ය. මාස හයට එහි පුරුක් හතක්  වැඩෙයි. ගොයම ඵල දරා වී කරල් හැදෙන්නේ හත් වැනි පුරුකේ ය. කුමන මාසයක වී වැපිරුව ද, ගොයම පීදී කරල් හැදෙන්නේ දෙසැම්බරයේ ය. ලෝකයේ වෙනත් වී වර්ග සෑම එකකම පාහේ ගොයම් පැලයක් ලබා ගැනීමට ‘වී ඇටයක්’ සිටුවිය යුතු ය. එහෙත්  ‘මාවී’ එසේ නොවේ. මා වී ගොයම් ගසක පුරුක් වෙනම කපා සිට වූ විට, එයින් නව ගොයම් ගසක් හට ගනියි!
 

මා වී සහලේ බත බොහොම රස ය. මෘදු ය. යමෙකුට එය හිතූ තරම් අනුභව කරන්නට ද නුපුළුවන. බත් ටිකක් කෑ විට මහත් බර ගතියක් දැනෙයි. එසේ වන්නේ එහි ඉහළ පෝෂණ ගුණය නිසා ය. මා වී සහලේ බත පිසෙන ප‍්‍රමාණය ද වැඩි ය. මා වී බත, මිනිස් ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යයි. දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ ආදියෙහි සහ ජන වහරෙහි දැක්වෙන අන්දමට, මා වී වු කලී, ‘කාය ශක්තිය වර්ධනය කෙරෙන ගුණයෙන් යුත්’ සහලකි. එනම්, ‘වාජීකරණ ගුණයෙන් යුත්’ බතක් උපදින සහලකි. එහි ඇති ප්‍රෝටීන ප‍්‍රතිශතය සියයට 7.80ක් තරම් ඉහළ මට්ටමක ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මා වී සහලේ බත වැළඳීමෙන් ‘ලිංගික ශක්තිය වර්ධනය වන බව’ නිල්වලා ගං නිම්නවාසී ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී ගොවිතැන් කරන පවුලක තරුණයෙකුට, මා වී ගොවිතැන් කරන පවුලක කෙල්ලෙක් ම කාර බැන්ද වීමේ සිරිත සම්බන්ධයෙන් එළිපිට කතා නො කරන රහස එළියට එන්නේ මෙතැන දී ය. මා වී බත වළඳන පිරිමින් ජවාධිකයන් ය. එවැනි පිරිමින්ගේ ‘ගති සොබාවන්ට’ ඔරොත්තු දෙන්නට නම්, තරුණියකට වුව ‘මා වී’ බතේ හයිය තිබිය යුතු ය. මා වී වගා කරන ගොවි පවුලක කොල්ලෙකුට, එවන් ගොවි පවුලකින් ම කෙල්ලෙකු කැන්දා ගෙන ඒමේ රහස එයයි! 
 

මාතර නිල්වලා නිම්න වාසී ගොවීහු මා වී සහලේ කුරුට්ටෙන් ‘කුඩු පිට්ටු’ නම් ආහාරයක් සකසා ගනිති.  එය ‘ඇඟිල්ලේ ගා ගෙන කන’ දියර පිට්ටුවකි. ‘අපි ඉතින් කුඩු පිට්ටු නම් හාමුදුරුවරුන්ට වළඳවන්නේ නෑ. ඒවා වැඩිපුර කන්න කියන්නේ අලූත බැඳපු අයටයි’ යයි ඔවුහු කට කොනෙන් හිනැහෙමින් කියති.
 

වාජීකරණ ඔසු ගුණය පමණක් නොවේ. ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, පසුගිය කාලයේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කළ පර්යේෂණ මගින් හෙළි විය. ඒ පිළිබඳ තොරතුරු, ජර්මනියේ දී ඉංග‍්‍රීසි බසින් පළ කෙරුණු ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් පර්යේෂණ ග‍්‍රන්ථය ඔස්සේ අනාවරණය කෙරිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වූහ.
 

එහි සාකච්ඡාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ‘කාර්මික තාක්ෂණ ආයතනය’ කළ පර්යේෂණ මාලාවේ අපූර්ව තොරතුරු ය. ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, එයින් අනාවරණය විය.
 

දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා ද පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයෙන් සොයා ගැනුණි.
 

අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ’ : (Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික රතු සහල් වර්ගවලට, දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග ද රුධිරයේ සීනි පාලනය සම්බන්ධයෙන් උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.
 

ශරීර පෝෂණය යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සහ බෝ නො වන රෝගවලින් මිදුණු සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම ද යහපත් ලිංගික ජීවිතයකට හේතු කාරක වෙයි. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක එවන් ගුණාංග යහමින් තිබේ. ‘කුරුළු තුඩ’ නම් වියෙහි සහල (බත), කුඩා දරුවන්ගේ පෝෂණය කෙරෙහි දැඩිව බලපාන බව ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී  පමණක් නොවේ. මිනිසුන්ගේ ලිංගික ශක්තිය වඩවන සහල් වර්ග ගණනාවක් ම    දේශීය පාරම්පරික සහල් වර්ග අතර එයි. ‘චරක’, ‘සුශ‍්‍රැත’ සහ ‘සාරාර්ථ සංග‍්‍රහය’ ආදී ආයුර්වේද වෛද්‍ය ග‍්‍රන්ථවල ද ඒවා ගැන සඳහන්ව තිබේ. මේ සහල් වර්ගවල ප්‍රෝටීන ප‍්‍රතිශතය ඉහළ ය. සුවඳැල්, කුරුළු තුඩ, රත් හැල්, කළු හීනැටි, මුතු මාණික්කන්, පොලයල් ආදිය ඒවා අතර වෙයි. මුතු මාණික්කන් සහලේ බත, කාන්තාවන්ගේ සමේ වර්ණය පැහැපත් කරවන බව ප‍්‍රකට ය. කෝට්ටේ රජ වාසලේ බිසෝවරුන්ට ආහාර පිණිස මුතුමාණික්කන් සහල් රැස්කර තැබූ බව කියැවේ. පොලයල් සහලේ බත, මහළු විය එළඹෙන විට මතුවන ශරීර ලක්ෂණ යටපත් කරන බව පැරණි ව්‍යවහාරයෙහි සඳහන් වේ.
 

අපේ රටේ දැනට කෙරෙන්නේ, මේවා වගාකර ගෙන  ‘බත්’ වශයෙන් අනුභව කිරීම පමණකි. එහෙත් පාරම්පරික සහලේ ඇති ‘වාජීකරණ’ ගුණයන් පදනම්කර ගනිමින් යම් ‘ඔසුවක්’ හෝ ‘ශක්තිජනක’ ආහාරයක් නිපදවන්නට හැකි නම් එය මහත් සේ ප‍්‍රචලිත වෙනවා සිකුරු ය!  එසේම, කාන්තා රූ සිරිය වඩවන යම් නිපැයුමක් ද කරන්නට පුළුවන!
(2019/10/20-සතිඅග අරුණ -පුවත්පතේ පළවුණු ලිපියකි)                                                         
(උපුටා ගැනීම-walaspathiවලස්පතිගේ අඩවියෙනි)

Saturday, 19 October 2019

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නාමකරණය කෙරේ

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණය කෙරේ

 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණයකර, ගොවීන්ට හඳුන්වා දීමේ විද්වත් සභාවක් ඊයේ (ඔක්තෝබර් 17), කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
 

විද්වත් සභාව සංවිධානයකර තිබුණේ, හෝමාගම, කටුවාන පාරේ ‘පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැුකීමේ ව්‍යාපාරය’ වෙනුවෙන් පී. ගුරුසිංහ මහතා විසිනි.
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීමේ ක්ෂේත‍්‍රයේ ගොවි සංවිධාන නියෝජනය කරමින්, උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක මහාමාන්කඩවල පියරතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, මතුගම සෙනවිරුවන්, කවුඩුල්ලේ ජයතිස්ස ඇතුළු ගොවි ක‍්‍රියාකාරිකයන් ද, කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර, උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. එල්. ඞී. සමරසිංහ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. ඒ. ඞී. ප‍්‍රශාන්ත, ආචාර්ය පහන් ගොඩකුඹුර ඇතුළු පර්යේෂකයන් ද, පේරාදෙණිය ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන් ද විද්වත් සභාවට එක්ව සිටියහ.
 

ගොවීන්ගේ හඳුන්වාදීම් අනුව තෝරා ගෙන, ප‍්‍රභේද නිවැරදිතාවය විද්‍යාත්මකව සහතික කළ වී ප‍්‍රභේද නමයක ‘බිත්තර වී’ ගොවීන්ට බෙදා දීම ද මෙහි දී සිදු විය.
 

ඒ අනුව ප‍්‍රභේද නිවැරදිතාවය සහතික කළ පාරම්පරික වී වර්ග මෙසේ ය.
 

01-හේරත් බණ්ඩා-රතු සහල්/මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006421
 

02-සූදුරු සම්බා-මාස-හතර-හතර හමාර
 

03-කලූ හීනැටි-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006713
 

04-කුරුලූ තුඩ-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗005416
 

05-පච්චපෙරුමාල්-මාස-තුන හමාර-හතර-නාමකරණ අංකය-ACC⌗005549
 

06-මඩතවාලූ- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗012391 
 

07-මුරුංගාකායම්-මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗006280 
 

08-පොක්කාලි- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗004160 
 

09-සුවඳැල්- මාස-තුන හමාර-තුන- නාමකරණ අංකය-ACC⌗013300
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නිවැරදිව නාමකරණය කර ව්‍යාප්ත කිරිමේ වැඩ පිළිවෙල දිගට ම පවත්වා ගෙන යන බව විද්වත් සභාවේ දී ප‍්‍රකාශ විණි.
2019/10/17