වස විසෙන් තොර ගොවිතැන, සත්යය සහ මිථ්යාව-01
ලංකාව යළි වස විස රහිත ‘පාරිසරික ගොවිතැනකට’ (එනම් පරිසර හිතකාමී ගොවිතැනකට) යොමු විය යුතු ය, යන්න වර්තමානයේ හට ගෙන ඇති ඉතා වැදගත් කතිකාවතකි. අප යළි වස විසෙන් තොර දේශීය පාරම්පරික සහලට, බතට, එළවළුවට සහ අල වර්ග ආදියට මෙන්ම කොල පලාවලට ද යොමු විය යුතු බව එම කතිකාවෙන් අවධාරණය කෙරේ.
අප එසේ කළ යුත්තේ යුත්තේ මන් ද? යන්න, වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන ප්රශ්නයකි. එයට යම් ප්‍රමාණවත් පිළිතුරක් සැපයීම, මෙම සටහනෙහි අරමුණයි. දැනටත් රට පුරා වගා කරන ‘නව වැඩි දියුණු කළ වී වර්ගවල’ බත සහ අනෙකුත් භෝගවල ආහාර, ලංකාවාසීන්ගේ කුසගින්න නිවන්නට තරම් පොහොසත් බව ඇත්ත ය. එහෙත් ඒවා වළඳන ජනී ජනයෝ, දැන් කලක පටන් ම ලෙඩට දුකට වැටී සිටින්නෝ ය. ඉන් බොහොමයක් මාරාන්තික ය.
පස තේරුම් ගැනීම
‘වස විස නැති පාරිසරික ගොවිතැනක්’ හෙවත් ‘මනුෂ්යයන්ට සහ සතා සීපාවාට හිතකර කෘෂිකර්මාන්තයක්’ ගැන කතා පුවත ආරම්භ කළ යුත්තේ, මහ පොළොව හෙවත් පෘථිවි කබොලේ ඉහළම ස්තරයවූ ‘පස’ පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමෙනි. පස යනු, දීර්ඝ කාලයක් මුළුල්ලේ ‘ඓන්ද්රීය ද්‍රව්‍ය’ (දිරායන ද්රව්) දිරාපත් වීමෙන් සහ පාෂාණ ජීර්ණය (පාෂාණ දිරාපත් වීම) ඔස්සේ එකතුවන ශේෂයන් මිශ්‍ර වීමෙන් නිර්මාණය වන ප්රපංචයකි. එය ලොව ගොඩබිම් තලයේ ශාක සහ සත්ත්වයින්ගේ පැවැත්ම තීන්දු කරන මහා සාධකය වේ.
‘පස’, භූමියේ ස්වභාවය අනුව, දළ වශයෙන් සෙන්ටිමීටර් තුනේ සිට මීටර් තුනක් හෝ ඊටත් වඩා ඝනකම ය. එය, ඓන්ද්රීය ද්රව්යය, හියුමස්, ජලය, වාතය, ඛනිජ හා ලවණ මෙන්ම, පාංශු ජීවීන් ගෙන් ද සමන්විත ය. පස යනු සොබා දහමේ විශ්මිත නිර්මාණයකි. එය එහැමපිටින් ම, පණ ගැහෙන ජීව පද්ධතියකි. එනම්, ඉතාමත් සජීවී, පණ ගැහෙන, නිරන්තරව ජීවත් වන, ජීවයෙන් පිරුණු මහා ජීව පද්ධතියකි. ගහකොල, මනුෂ්යයන් මෙන්ම සතා සීපාවා ඇතුළු සකලවිධ ජීව ප්‍රාණීන්ගේ පැවැත්ම ර`දා පවතින්නේ පස තුළ තිබෙන ජීව ගුණය මත පදනම් වෙමිනි.
පසට ම ආවේණික සශ්‍රීකභාවය
ලොව සියලූම ගොඩබිම් ශාක වර්ග හැදී වැඩෙන්නේ පසෙහි ඇති සාරය හෙවත් පෝෂණය උකහා ගැනීමෙනි. ‘පස’ පසට ම ආවේණික සශ්රීකභාවයකින් සමන්විත ය. එය, ‘කාලානුරූපව තමන් විසින් ම, තම සරුසාරභාවය උපද්දවා ගැනීමේ’ විශ්මකර්ම යාන්ත්රණයකින්’ සමන්විත ය. එය සුවිශේෂ කාරණයකි. මෙම ජීව ගුණය ඔස්සේ, පසෙන් උපදින ශාක සම්පත මගින් මනුෂ්යයන් ඇතුළු සකලවිධ ජීව ප්‍රාණීන්ට නිර්ලෝභීව ආහාර සපයන්නේ ය!
ආහාර භෝග
මනුෂ්යයන්ගේ ආහාර අවශ්යතාවය පිණිස, සංවිධානාත්මකව වගා කරන ශාක ප්‍රභේදවලට අපි ‘ආහාර භෝග’ යයි කියන්නෙමු. ඒවා, වී ඇතුළු ධාන්‍ය වර්ග, අල වර්ග, පලතුරු සහ විවිධ ගෙඩි වර්ග, එළවළු සහ කොල පලා ආදී වශයෙන් ඉතා විශාල පරාසයක පැතිර පවතී. මේවාට ‘කෘෂිකාර්මික ආහාර භෝග’ යයි ද ව්යවහාර කරති. ගව, එළු සහ කුකුළු ආදි සත්ත්ව පාලනය ද මීට ඇතුළත් ය.
මේවාට අමතරව, ‘ආහාර නො වන’ කෘෂිකාර්මික භෝග ද තිබේ. ඒවා වගා කරන්නේ ආර්ථික-වාණිජ පරමාර්ථ වෙනුවෙනි. රබර්, පැ`ගිරි, යුකැලිප්ටස්, මල් වර්ග සහ විසිතුරු පැල වර්ග මීට නිදසුන් ය. කෙසේ වෙතත් ආහාර භෝගවලට ද විශාල ඉල්ලූමක් ඇති බැවින්, ඇතැමෙක් ආර්ථික පරමාර්ථ පිණිස ම ඒවා වගා කරන්නට පෙළඹී සිටිති.
එසේම, ‘සංවිධානාත්මකව වගා නො කරන ආහාර භෝගයන්’ ද තිබේ. ඒවා ස්වාභාවික පරිසරයෙහි වැවෙන අතර, අනාදිමත් කාලයක් තිස්සේ මිනිස් ආහාරයට එක්කර ගැනෙයි. ඇතැම් අල වර්ග, පලා වර්ග, පලතුරු සහ හතු වර්ග ආදිය මීට නිදසුන් ය.
කෙසේ වෙතත් අප මෙහිදී සාකච්ඡා කරන්නේ පවුලේ ආහාරය හෝ ආර්ථිකමය කටයුත්තක් වශයෙන් ආහාර භෝග වගා කිරීමේ ක්ෂේත්රය සම්බන්ධයෙනි.
පැරණි ගොවිතැන
වර්ෂ 1505ට, එනම් ආක්රමණික යුරෝපීය ජාතීන් ලංකාවට එන්නට පෙර ශ්‍රී ලංකාවේ පැවතියේ සොබාදහම හා බැඳුණු බොහොම නිස්කාන්සු ගොවිතැනකි. එකල වී වගාවට ඇරුණු ‘කුඹුරු’, එළවළු සහ අනෙකුත් කටුසර භෝග වගාව සඳහා භාවිත කරන ‘හේන්’ සහ කොස්, දෙල්, අඹ, කෙසෙල් ආදී බහු වාර්ෂික මිශ්‍ර භෝගවලින් සමන්විත ගොඩ ඉඩම් හෝ ගෙවතු ද ඒවා අතර විය. එකල විසුවන් තම ආහාරයට අවශ්‍ය ධාන්‍ය (වී, කුරක්කන්, තල, මෙනේරි, ඉරිඟු සහ අමු ආදී) ටික ද, එළවළු සහ අල වර්ග ද, කොල පලා වර්ග ද, කිරි සහ මස් මාංශ ආදී ආහාර වර්ග ද තම කෘෂිකාර්මික භූමියෙන් උපදවා ගත්හ. ‘සහලින්’ උපදින ‘බත’ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය විය.
බතෙහි මහිම
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප්‍රධාන ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්රෝටීන අවශ්යතාවයෙන් සියයට 40ක් ද, කැලරි අවශ්යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි. රටට අවශ්‍ය ‘බත’ සැපයීම, ලංකාවේ අතීත රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප්‍රධාන කාර්යභාරය වූයේ ය.
ආචාර්ය සිරාන් දැරණියගල සූරීන් වර්ෂ 1969 දී අනුරාධපුරයේ ඇතුළුපුරයේ කළ පුරාවිද්යා කැනීම් අනුව, ලංකාවේ වී ගොවිතැන අදින් වසර 2900ක් පමණ පැරණි බව හෙළි විණි. පර්යේෂණයෙන් අනාවරණය වුණු ඉතා වැදගත් ම කාරණයක් වූයේ, ඉන්දු ආර්්යයන්ගේ ලංකා සංක්රමණයයි. එසේම අනුරාධපුරයේ වැසියන් මුල් වරට යකඩ සහ ‘යකඩ නගුල’ භාවිතකර වී ගොවිතැන් කළ බවට සාධක ලැබීමයි. ඔවුන් ඒ සඳහා එළ හරකුන් යොදා ගත් බවත් එයින් හෙළි විය. අනෙක් කාරණය වන්නේ, ඇතුළු පුරයේ වැසියන් එකල මැටි බ`දුන් ද භාවිත කළ බවයි. ගොවිතැනින් ඉපැයූ ශෂ්යය මැටි බඳුන්වල උයා-පිහා කෑ බව ඉන් පෙන්නුම් කෙරෙන්නේ ය.
රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යල’ සහ ‘මහ’ වශයෙන් ‘කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිතයි. ඒ සඳහා ඔවුන්ට දේශීය පාරම්පරික වී වර්ග සම්භාරයක්ම තිබිණි. වගා බිමෙහි ‘භූ විෂමතාව’, ‘පූදින කාලය’, ‘පෝෂණීය අගය’ සහ ‘ඖෂධීය ගුණය’ ආදී කාරණා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ වී වර්ග මහත් ‘විවිධත්වයක්’ දැරී ය! එය වසර දහස් ගණනක් මුළුල්ලේ රටට නිරෝගී සම්පත ද, කාය ශක්තිය ද, සෞභාග්යය ද රැගෙන ආවේ ය.
(මතු සම්බන්ධයි)
2018/11/14.
No comments:
Post a Comment